අන්ධකාරයේ ගිලී සිටි ලක්වාසී ජනතාව බුදුන් වහන්සේ අනුදැන වදාල ධර්ම මාර්ගයට යොමුකළ උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදයි. මිහින්තලා උදාගිරෙන් ලක්දිවට පෑයූ පොසොන් සඳ අපේ ජන ජීවිතය, සමාජය හා සංස්කෘතිය නව වෙනසකට ලක්කළා.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්රමුඛ ඉත්ථිය, උත්ථිය, සම්භල, භද්දසාල යන ස්වාමීන්වහන්සේ ද සුමන සාමණේරයන් වහන්සේ සහ භණ්ඩුක උපාසක යන ධර්ම දූත පිරිස සදහම් පණිවුඩය රැගෙන අද වැනි දිනෙක ලක්දිවට පැමිණියා. මිහිඳු මහරහතන් වහන්සේට දේවානම්පියතිස්ස රජතුමා හමුවන විට රජු ඇතුළු පිරිස මුව දඩයමේ නිරත වූ බව ඉතිහාසයේ දැක්වෙනවා. රජතුමාට චුල්ලහත්ථී පදෝපම සූත්‍රය දේශනා කරමින් ලක්දිව බුදු සසුන පිහිටුවීමේ ආරම්භය සටහන් වුයේ ද අද වැනි උතුම් දිනකයි. දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දායකත්වයෙන් පැවැත්වූ තුන්වන ධර්ම සංඝයානාවෙන් පසු රටවල් නවයකට ධර්ම දූත කණ්ඩායම් පිටත් කර හැරුණු බව ශාසන ඉතිහාසයේ සඳහන්. එම ධර්ම දූත ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ වඩාත් සාර්ථක වූ අතර එවකට ලක්දිව පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රට වැසියන් බුදු දහම වැළඳගත්තා. බුදු දහම ව්‍යාප්ත වීමත් සමඟ මෙරට ආගමික, සමාජීය, සංස්කෘතික හා ආර්ථික යන ක්ෂේත්රවල පුනර්ජීවය සිදුවුණා. මිහිඳු රහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමෙන් පසු දින අනුරාධපුරයේ දී දේශනා කළ විමානවත්තු, පේතවත්ථු හා සච්ච සංයුක්ත ධර්ම දේශනාව අසා අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් සෝවාන් ඵලයට පත්වුණා. ලාංකික ජනතාව ලොව කිසිම සංස්කෘතියකට ගැති නොවී ස්වාධීන ලෙස නැගී සිටියේ අද වැනි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ ලැබුණු බුදු දහමේ ආලෝකය ඔස්සේයි. මේ උතුම් පූජනීය දිනය සිහිපත් කරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් රටපුරා බෞද්ධ සැදැහැවතුන් ආගමික වතාවත්වල නිරත වනවා.
මේ අතර පොසොන් පොහෝ දිනය යනු ලක්දිව බෞද්ධ ශිෂ්ඨාචාරයේ පදනම සකස් වීමට මුල්වූ කරුණු අනුස්මරණය කෙරෙන අග්රතම ජාතික පූජෝත්සවය බව පොසොන් දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සදහන් කරනවා. මෛත්‍රීය හා සාමකාමී සහජීවනය පෙරදැරිකරගනිමින් සියලු දෙනා කටයුතු කිරීමේ අගය ද ජනාධිපතිතුමාගේ පොසොන්දින පණිවුඩයෙන් පෙන්වා දී තිබෙනවා.
මේ අතර සත්‍ය ධර්මය ජනසමාජයට නිදන්ගත වීමට ආක්‍රමණ, හිංසන හෝ ප්රචණ්ඩත්වය අවශ්‍ය නොවන බව පොසොන් දින පණිවිඩයක් නිකුත්කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරනවා. සමාජ , සංස්කෘතික හා දේශපාලන ආදී සෑම ක්ෂේත්රයකම ප්රගතිශීලී වෙනසක් ඇතිවීම පිළිබද ලෝක ඉතිහාසයේ හොදම නිදසුන බුදු දහම ලක්දිව තුළ ස්ථාපිත වීම හදුන්වාදිය හැකියි. අන්‍ය ආගම් හා සංස්කෘතීන්ට ගරු කරමින් සියලු දෙනා සහජීවනයෙන් යුතුව ජීවත් විය යුතු බවද අග්‍රාමාත්‍යවරයාගේ පණිවුඩයේ වැඩිදුරටත් සදහන් වනවා.