බාලවයස්කාර පාසල් දැරියක් මාතර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමෙන් ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ඒ අනුව අදාළ දැරියට රුපියල් පනස්දහසක වන්දිමුදලක් ගෙවීමටයි රජයට නියෝග කෙරුණේ.
2012 වසරේදී මෙම දැරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණා. ඒ වනවිට 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරිය හිටිවන කවි ගායනයට ප්‍රසිද්ධියක් උසුලා තිබූ බවයි පැවසෙන්නේ. දැරිය හෝ ඇයගේ පවුලේ කිසිවෙකු පැමිණිල්ලක් නොකර තිබියදී අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අතින් දැරිය අපචාරයට ලක්ව ඇති බව පවසමින් මාතර පොලීසිය ප්‍රකාශයක් ලබා ගැනීම යැයි පවසා දැරිය පොලීසියට රැගෙන ගොස් තිබුණා. රාත්‍රී කාලය පුරා පොලිස් ස්ථානයේ රදවාගෙන සිටි දැරියට කිසිදු ආහාරයක් හෝ පානීය ද්‍රව්‍යයක් ලබා නොදුන් බව අදාළ පෙත්සමේ සදහන්.
පසුව ඇය රෝහල් ගතකර වෛද්‍ය පරීක්ෂණයකට යොමුකෙරුණ ද කිසිදු අපචාරයකට ලක්ව නැති බව එහිදී හෙළිවුණා. ඒ අනුව ගොනුකළ අයිතිවාසිකම් පෙත්සම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය රජයට රුපියල් පනස්දහසක වන්දි මුදලක් අදාළ දැරියට ගෙවන ලෙසටත් ඇය අත්අඩංගුවට ගත් මාතර පොලීසියේ පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත මහත්මියට පෞද්ගලිකව දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. පුද්ගලයින්ගේ නිදහස හා ආරක්ෂාව පුලුල් ලෙස තහවුරු කිරීම සදහා නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය සදහන් කරමින් කරුණු 20 කින් යුත් උපදේශන මාලාවක් ද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කෙරුණා.