විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ දෙරට අතර සබදතා තහවුරු කර ගැනීම පිළිබදව ශ්‍රී ලංකා තජිකිස්ථාන රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ තජිකිස්ථාන ජනාධිපති එමොමාලි රාමොන් මහතා අතර හමුව සිදුවුණේ එරට ජනාධිපති මන්දිරයේදීයි.
තජිකිස්ථානයේ දුෂාන්බේ හි පිහිටි ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එරට ජනාධිපතිතුමා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. නායක දෙපල අතර සුහද කතාබහකින් අනතුරුවයි ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණේ. ආර්ථික සංවර්ධනය හා ජාත්‍යන්තර වෙළෙද කටයුතු වර්ධනය කර ගැනීමට දෙරටම කැපවී සිටින බැවින් ද්වී පාර්ශ්වික සබදතා ශක්තිමත් කර ගැනීම පිළිබදව නායක දෙපළ සාකච්ඡා කළා.
දෙරට අතර ආයෝජන හා ව්‍යාපාරික අවස්ථා හදුනා ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් පිළිබදව ද අවධානය යොමු වුණා. කලාපීය ආරක්ෂාව හා මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ද සාකච්ඡා කෙරුණා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පණගන්වා ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලියේදී ලොව සියලු රටවල් සමග සමීපව හා මිත්රශීලීව කටයුතු කිරීම තම අරමුණ බවයි. ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ සංචාරය සමග දෙරට අතර මිත්‍රත්වය වඩාත් තහවුරු වන බවත් ඉදිරියේදී එය තවත් තර වනු ඇති බවත් තජිකිස්ථාන ජනාධිපතිතුමා සදහන් කළා.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තජිකිස්ථාන ජාතික කෞතුකාගාරයේ සංචාරයකට ද එක්වුණා. එහි තැන්පත් කර ඇති වසර දහස් ගණනක් පැරණි සැතපෙන බුද්ධ ප්‍රතිමාවහන්සේගේ අනුරුව වෙත ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමු කළා. අනතුරුව ජනාධිපතිතුමා පැමිණියේ දුෂාන්බේ නගරයේ ප්‍රධානතම බලශක්ති මධ්‍යස්ථානය වන නුරෙක් ජල විදුලි බලාගාරය වෙතයි. එහිදී ජනාධිපතිතුමා පිළිගනු ලැබූවේ තජිකිස්ථාන උප අග්‍රාමාත්‍යවරයා විසින්. අලංකාර පිළිගැනීමේ උත්සවයක් ද සංවිධාන කර තිබුණා. ජනාධිපතිතුමා වෙනුවෙන් එම පරිශ්‍රයේදී විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වුණා.
මේ අතර ජනාධිපතිතුමා ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබද සමුළුව හෙට ඇමතීමට නියමිතයි. ඊට එක්වන රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ජනාධිපතිතුමා සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.