ගෝලීය ත්රස්තවාදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබා දෙන බව ජපානය පවසනවා. ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටොෂිකෝ අබේ මහත්මිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් මේ බව අවධාරණය කළා. මේ අතර යුරෝපා සංගමය නියෝජනය කරන තානපතිවරුන්ගේ හමුවකටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටොෂිකෝ අබේ මහත්මිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි. ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ජපානය ලබා දෙන සහාය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා සිය කෘතවේදීත්වය පළ කළා. ශ්‍රී ලංකාව හා ජපානය අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් දෙරටේ අවධානය යොමුව තිබෙනවා. ජාත්‍යන්තර මට්ටමේ ත්‍රස්ත ක්‍රියා රටට පැමිණීම වැළැක්වීමට මෙය වැදගත් පියවරක් බවයි ජපාන රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේ. ඉන්දියාව, මාලදිවයින හා ශ්‍රී ලංකාව ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ප්‍රතිත්‍රස්ත සැලැස්ම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග පසුගියදා සාකච්ඡා පැවැත්වූවා. ඒ පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරියට පැහැදිලි කළා. ශ්‍රි ලංකාවේ මාර්ග සංවර්ධනය ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා ඉන්දියාව හා ජපානය සමග ඒකාබද්ධ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගැනුණා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා ඇතුලු කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගි වුණා.