තේරීම් කාරක සභාවේ කටයුතුවලට මැදිහත්වීමට කැබිනට් මණ්ඩලයට අයිතියක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිවිල් සමාජ හා වෘත්තීය සමිති නියෝජිතයින් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.
ජනතාවගේ පරමාධිපත්‍යයත් පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යයත් ආරක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා කාත්තන්කුඩියේදී කළ ප්‍රකාශය හෙළා දකින අතර නැගෙනහිර ආරම්භ කිරීමට නියමිත විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා බව ද අග්‍රාමාත්‍යවරයා කියාසිටියා.
බුද්ධි අංශ නිලධාරීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙන විට ජනමාධ්‍ය ඉවත් කර සාක්ෂි දීමට සලස්වන ලෙස එම කාරක සභාවෙන් ඉල්ලා සිටි බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ආගම් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ආගමික සංහිඳියා මණ්ඩලයක් පිහිටු වන බව ද මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා කියාසිටියා. කැබිනට් මණ්ඩලයේ රැස්වීම් නොපැවැත්වූ පමණින් කැබිනට් මණ්ඩලය අහෝසි වන්නේ නැහැ.
බහුතරයක් සිටින පක්ෂයේ නායකයා ලෙස තමා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේත් එමෙන්ම තමන් කැබිනට් මණ්ඩලය පත් කර ඇත්තේ ද පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුව බවත් අග්‍රාමාත්‍යවරයා කියාසිටියා. එමෙන්ම තේරීම් කාරක සභාව පත් කර තිබෙන්නේ ද පාර්ලිමේන්තුව විසින් බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.