පුරා වසර 40 ක් මේ රටේ ජනතාවගේ හද ගැස්මට කතා කරපු, හද ගැස්මේ හඬ අහපු රූපවාහිනි මහගෙදර ස්වාධීන රූපවාහිනි සේවය සිය 40 වන ජන්ම කඩයිමට පාතබන්න සියල්ල සූදානම්. ගෙවනු වසර 40 මෙන්ම හෙටින් උදාවන නව වසරත් ITN වෙත කඩයිමක් වන්නේ වඩාත් වගකිම් සහගත් ජනතා හිතවාදී මාධ්‍ය කලාවක් මේ රටේ සියළු ජනි ජනයාට සමීප කරවීම පවතින මාධ්‍ය සංස්කෘතිය තුළ අසීරු වන බැවිනි.
1979 යේ අප්‍රේල් මාසයේ 13 වෙනිදා අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරු ශාන් වික්‍රමසිංහ ස්වාධීන රූපවාහිනි සේවය පෞද්ගලික නාලිකාවක් ලෙස ආරම්භ කරන්නේ එතෙක් යුරෝපය ඇතුළු ලොව සීමිත රටවල් කිහිපයකට පමණක් සීමා වූ රූපවාහිනි තාක්ෂණය ලංකාවේ ජනතාවට සමීප කරවීමේ අරමුණෙනි. 1979 ජූනි 05 වෙනිදා එවකට ජනාධිපති ජේ. ආර් ගේ රජය විසින් එම පෞද්ගලික නාලිකාව රාජ්‍යකරණයට පත් කර ගන්නේ වඩාත් ජනතා හිතවාදී රූපවාහිනි කලාවක් මනා සංයමයකින් හා වගකීමෙන් යුතුව ජනතාව වෙත සමීප කරවීමේ අරමුණෙනි.
එතෙක් මෙතෙක් කාලය තුළ ITN නාලිකාව තමන් වෙත පැවරූ ඒ මහඟු මෙහෙවර කිසිදු අඩුවක් නොමැතිව ඉටු කරමින් සියළුම නාලිකාවලට පූර්වාදර්ශයන් ක්‍රියාත්මක වෙමින් පවති. 1979 සිට මේ දක්වා ලංකාවේ බොහෝ පෞද්ගලික නාලිකා ඇති වූවද විවිධ සදාචාර විරෝධී මාර්ග හරහා අත් කර කර ගන්නා මුදල් වලින් මාධ්‍ය සැනකෙලි නිර්මාණය කරමින් ප්‍රමිතියෙන් තොර මාධ්‍ය කාලාවක් රටට හදුන්වා දුන්නද ඒවායේ පසු පස දුවන්නන් වාලේ නොදුවව සිය ආත්ම අභිමානය තව තවත් තහවුරු කර ගැනීමට ITN සමත් ව සිටී. විදේශීය සීනි බෝල ටෙලි නාට්‍ය විකාශය කරමින් එම නාට්‍ය නරඹනවාට විවිධ වරප්‍රසාද ලබා දෙමින් රේටිං වැඩි කර ගැනීමට දත කන මාධ්‍ය නාලිකා අතර අදටත් ප්‍රමිතියෙන් යුත් දේශිය ටෙලි නාට්‍ය විකාශය වන්නේ ITN රූපවාහිනි මහගෙදරය. එසේම නිවේදනය යැයි පවසා ගන්නා කච කච මාධ්‍ය වාග් විලාෂයක් සහිත වැඩසටහන් හමුවේ අර්ථවත් බස් වහරක් සහිත වැඩ සටහන් තවමත් ITN සතුය. ඒ ලංකාවේ සංස්කෘතියේ තරම දැන එය නිසි පරිදි අතික්‍රමණය කිරීමේ වගකීම අප සතු වන බැවිනි.
එසේම ITN ප්රවෘත්ති කලාව ද මෙරට අනෙකුත් මාධ්‍යකරුවන්ට ලබා දෙන්නේ වගකීම් සහගත් ප්රවෘත්ති කලාවයි. විශේෂයෙන්ම මීට දසවසරකට පෙර යුද්ධයේ අවසන් දින කිහිපයේ රාජ්‍ය මාධ්‍ය නාලිකාවක ස්වරූපයද , වඩාත් සත්යවදි හා වගකීම් සහගත පුවත් ප්‍රකාශයද උරුවද රැගෙන ITN ප්රවෘත්ති යුධ වාර්තාකරණයේ නියැළුණු ආකාරය මතක් කර දීමට කැමැත්තෙමු. එම ක්‍රියාවලියම පසුගිය අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ITN ප්රවෘත්ති හරහා නැවතත් ජනතාව වෙත සමීප කරවීමට අපට හැකි විය. බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අහිංසක ජනතාවගේ ලේ, ඇට, මස් මත සිට සිය රේටින් වැඩි කර ගැනීමට දත කෑ තිරස්චීන මාධ්‍ය සංස්කෘතිය කර පින්නා ගත් හා ප්රවෘත්ති විකාශනයේ ඉරහඳ බවට පාරම් බානා සමහර පෞද්ගලික මාධ්‍ය නාලිකා අතරේ සත්‍යවාදි හා වගකීම් සහගත ප්රවෘත්ති විකාශයක් විකාශනය කරවීමට ITN සමත් විය. එසේම එදින සිට මේ දක්වා ගත වී ඇති මසකට අධික කාලය තුළ දිවයින පුරා යමින් එමින් බොරු බේගල් ඇද බාමින් යලිත් කළු ජූලියක් ඇති කිරීමට උත්සහ ගන්නා විපක්ෂයේ දේශපාලනයට දර දිය අදින එම නාලිකා රට ගිනි තැබීමට පය පෙරට ගෙන සිටියද රජයේ දූර දර්ශි වැඩ පිළිවෙළ ජනතාව වෙත නොපමාව ගෙන යමින් ජාතිවාදී ගිනි දැල් නිවීමට ක්‍රියා කිරීමටද අපට හැකි විය.
තවමත් රටේ ජනතාව ජාතිවාදී මතභේදයන්ට දක්වන අකමැත්ත හා අපගේ පුවත් කලාවේ ඇති වගකීම සහගතබව හා සත්‍යවාදි බව හමුවේ යලි යලිත් ජනතා හදවත් තුළ ITN ප්රවෘත්ති නාමය රඳවා ගැනීමට අපට හැකිවිය. ඒ හරහා සල්ලි මලු ගනන් විසි කරමින් ප්රවෘත්ති කලාවේ අංක 1 වීමට දඟලන බොහෝ පෞද්ගලික නාලිකා සමඟ හරි හරියට රැදෙමින් අපගේ අනන්‍යතාව රැක ගැනීමට අපට හැකි විය. අප ඒ ගැන කරන්නේ මහත් අභිමානයෙනි.