එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 34 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
එංගලන්තයේ කාඩිෆ් හි සොෆියා ගාඩ්න්ස් ක්‍රීඩාපිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන් වගකීම් සහගතව ක්‍රීඩා කරනු දක්නට ලැබුණා. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න ලකුණු 30 ක් හා කුසල් ජනිත් පෙරේරා ලකුණු 78 ක් ලබා ගත්තා. ලහිරු තිරිමාන්න ලකුණු 25 යි. මුළු ලකුණු පුවරුව 144 ක් ලෙස සටහන්ව තිබියදී දැවී ගොස් තිබුණේ කඩුලු 2 ක් පමණයි. අනතුරුව පිටියට පිවිසි මැද පෙළ පිතිකරුවන්ගේ අපරීක්ෂාකාරී ක්‍රීඩා විලාසය හේතුවෙන් ඔවුන්ට ලකුණු අතරට පිවිසීමට ඉඩ ලැබුණේ නැහැ. පසුපෙළ ක්‍රීඩකයින් ලෙස පිටියට පිවිසි සුරංග ලක්මාල් ලකුණු 15 ක් හා ඉසුරු උදාන ලකුණු 10 ක් ලබා ගත්තා. මේ අනුව පන්දුවාර 36 යි පන්දු පහක් අවසානයේ සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වුණේ ලකුණු 201 ක් පමණයි. මොහොමඩ් නාබි කඩුලු 4 ක් බිද දැමුවා. වර්ෂාවෙන් තරගයට බාධා එල්ලවීම හේතුවෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සදහා පන්දු වාර 41 කදී ලකුණු 187 ක ඉක්කයක් හිමි වුණා.
එය හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන පිතිකරුවන් සාර්ථක වීමට දැඩි උත්සාහයක නිරත වුණා. ආරම්භක පිතිකරු හස්ත්රතුල්ලා සාසායි ලකුණු 30 ක් රැස් කළා. නජිබුදුල්ලා සාඩ්රාන් ලකුණු 43 යි. නායක ගුල්බඩීන් නාබි ලකුණු 23 ක් ඉනිමට එක් කළා. කෙසේ වෙතත් නුවන් ප්‍රදීප්ගේ පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්තාන පිතිකරුවන් හතර දෙනෙකු දැවී ගියා. ලසිත් මාලිංග තීරණාත්මක මොහොතේ කඩුලු 3 ක් දවා ගත්තා. මේ අනුව පන්දුවාර 32 යි පන්දු 4 ක් අවසානයේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලබාගත හැකි වුණේ ලකුණු 152 ක් පමණයි. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 34 ක ජයක් හිමි කර ගත්තා. නුවන් ප්‍රදීප් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.