රණකාමීන්ගේ පාගමන අද පෙරවරුවේ මැදවච්චියෙන් ආරම්භ වුණා. ශ්‍රී ලංකා යුද හමුදා ගුවන් සංක්‍රමණික බල සේනාවට වසර 25 ක් සපිරීම නිමිත්තෙන් හා මානුෂීය මෙහෙයුම නිම කිරීමේ දස වසර සැමරීම මෙන්ම සමස්ත යුද හමුදාවේ අභිමානය ඉහළ නැංවීම අරමුණු කර ගනිමිනුයි එය පැවැත්වෙන්නේ.
මව්බිම සුරැකීමේ දැවැන්ත කාර්ය භාරයට උර දී සිටින ශ්‍රී ලංකා යුද හමුදාව තම කීර්තිමත් ඉතිහාසය තුළ ජාතික අවශ්‍යතාවන්වලදී ඉටු කළේ කැපී පෙනෙන කාර්ය භාරයක්. යුද ගැටුම්වලදී ත්‍රස්තවාදය මව්බිමෙන් තුරන් කර දැමීමට දැවැන්ත කැපකිරීමක් කළ යුද හමුදා විරුවන් පශ්චාත් යුද සමයේ රට නගා සිටුවීමට තම නොමසුරු දායකත්වය ලබාදීමට කටයුතු කළේ ආර්ථිකයටද ශක්තියක් කරමින්. සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ජන හදවත් තුළ යුද හමුදාව පිළිබඳ ඇත්තේ දැවැන්ත විශ්වාසයක්.
දේශයේ මුර දේවතාවුන් වූ රණවිරුවන්ට පැවරී ඇති කාර්ය භාරය ඉටු කරන අතරතුරම ඔවුන් සමාජ සත්කාර්යන්ට තම දායකත්වය ලබා දෙන්නේ එය ජාතික වගකීමක් සේ සළකමින්. රණකාමීන්ගේ පාගමන ආරම්භ කෙරුණේද එම සංකල්පය පෙරදැරි කරගෙනයි. මැදවච්චියෙන් ආරම්භ වූ මෙම පාගමන කිලෝමීටර් තුන්සිය දහයක් ගමන් කරමින් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන් අවසන් වන්නේ දින 11 ක කාල පරිච්ඡේදයක් නිම කරමින්. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පාගමන ආරම්භ වූයේ රණවිරුවන් විශාල පිරිසකගේ ද සහභාගීත්වය ඇතිවයි.
ඊට නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයයි. රට රකින ජාතිය ලෙස ශ්‍රී ලංකාව තුළ ආරක්ෂාව සුරක්ෂිත බවට මහජනතාවට සහතික වීම රණකාමීන්ගේ පාගමනේ එක් අරමුණක්. ජාති, ආගම්, වර්ග භේදයකින් තොරව සංහිදියාව සුරක්ෂිත බවට ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පණිවුඩයක් ලබාදීමද මෙහි තවත් අරමුණක් වනවා. 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ ඒ කොඩිප්පිලි මහතාගේ මෙහෙයවීමෙන් එම සේනාංකය මෙම පාගමනේ සංවිධාන කටයුතුවල මූලිකත්වය ගෙන කටයුතු කරනවා. ගුවන් සංක්‍රමික බල සේනාවද ඊට එක්ව සිටින්නේ තම බල සේනාවේ විසිපස්වන සංවත්සරය සැමරීම මුල්කරගනිමින්. එහි බලසේනාධිපති කර්නල් එච් ඩී ඩබ්ලිව් කේ එන් ඊරියගම මහතා ඇතුළු සියලු නිලධාරීන් මීට එක්ව සිටිනවා.