පොළොන්නරුව කඳුරුවෙල නගරයේ පිහිටි රෙදිපිළි අලෙවිසලක ඇති වූ ගින්නකින් එම වෙළෙඳසලට දැඩි හානි සිදුවුණා.
රෙදිපිළි අලෙවිසල සමීපයේ පිහිටා තිබූ තවත් වෙළෙඳසල් රැසකට ගින්න පැතිර ගොස් තිබෙනවා. පොළොන්නරුව නගර සභා ගිනි නිවන ඒකකයේ හා ප්රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් ගින්න නිවා දැමීමට හැකිවුණා. කඳුරුවෙල බස් නැවතුම්පොළ ඉදිරිපිට පිහිටි මහල් 2 කින් යුත් රෙදිපිළි අලෙවිසලේ හටගත් ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරෙනවා.
මේ අතර කොස්ගොඩ මිරිස්වත්ත මංසන්ධියේ තීන්ත අලෙවිසලක ද ගින්නක් හටගත්තා. ගින්න හේතුවෙන් එම අලෙවිසලේ කඩ කාමර 3 ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. ගින්න හේතුවෙන් සිදුව ඇති අලාභය රුපියල් ලක්ෂ 100 ඉක්මවන බවයි පොලීසිය ප්රකාශ කළේ.
පුත්තලම මනල්ගුණ්ඩුව ප්රදේශයේ පිහිටි ගෘහ භාණ්ඩ නිෂ්පාදනාගාරයක් ගින්නකින් විනාශයට පත්වුණා. ගෘහ භාණ්ඩ මෙන්ම යන්ත්ර සූත්ර සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර එහි තිබූ දැව තොගයක් ද විනාශ වී තිබෙනවා. ප්රදේශයේ පැවති සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පැතිර යාම නතර කිරීම අපහසු වුණා.