ශ්‍රී ලංකාව තුළ ස්ථිර ඇමෙරිකානු හමුදා කදවුරක් පිහිටුවිමට කිසිදු ගිවිසුමකට එකග වී නැති බව ඇමෙරිකානු තානාපතිනි ඇලේනා ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා. මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනිමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තානාපතිනිය මේ බව කියා සිටියා.
අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ඇමෙරිකා තානාපතිනිය එම පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා. ඉන් අනතුරුවයි ශ්‍රී ලංකා ඇමෙරිකා තානාපතිනි ඇලේනා ටෙප්ලිට්ස් මහත්මිය මල්වතු මහාවිහාරය වෙත පැමිණියේ. මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට තානාපතිවරිය කටයුතු කළා. මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනිය කියා සිටියේ දෙරට අතර පවත්නා සහයෝගය තුළින් ආරක්ෂාවට ශක්තිමත් අඩිතාලමක් වැටී ඇති බවයි.
[ ශ්‍රී ලංකාව සමග අපිට ගිවිසුමක් තියෙනවා. ඒ ඒකාබදධ ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න. පසුගිය රජයන් සමයේ අපි එම ගිවිසුම් වලට එළඹුනා. නමුත් ශ්‍රී ලංකාවේ ස්ථිර ඇමෙරිකානු කදවුරක් පිහිටුවිමට කටයුතු කර නැහැ. ඒ සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමකුත් නැහැ. ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු හමුදාවට ශ්‍රී ලංකාවට සංචාරය කිරිමට පමණක් අප ගිවිසුමකට එකග වී තිබෙනවා. ඒ නිසා අපට සහයෝගයෙන් වැඩ කරන්න පුලුවන්. රටක ආරක්ෂාව වගේම අනෙකුත් ක්ෂේත්‍ර ශක්තිමත් කර ගන්නා මෙම සහයෝගය ඉතා වැදගත් වනවා. අපේ ද්වීපාර්ශ්වික සබදතාවලින් දෙරටේ ආරක්ෂාව මෙන්ම කලාපිය ආරක්ෂාව ශක්තිමත්කර ගැනීමට ඉඩකඩ සැලසෙනවා. ]