fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව පහළ වූ අසමසම ශාස්තෘවරයාණන්ගේ තෙමඟුල සිහි කරන වෙසක් පුන් පොහෝ දිනය අදයි

ITN News Editor
By ITN News Editor මැයි 18, 2019 13:37

ලොව පහළ වූ අසමසම ශාස්තෘවරයාණන්ගේ තෙමඟුල සිහි කරන වෙසක් පුන් පොහෝ දිනය අදයි

ලොව පහළ වූ අසමසම ශාස්තෘවරයාණන් වන බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහි කරන වෙසක් පුන් පොහෝ දිනය අදයි. බුදු රජාණන් වහන්සේ ලොවට දේශනා කළ ධර්මයේ පදනම වනුයේ ප්‍රඥාව හා කරුණාවයි. සැබෑවටම අද බෞද්ධ බැතිමතුන්ට ප්‍රඥාව හා කරුණාව ඔස්සේ මහා පිං ලබා ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා.

සිදුහත් කුමරුගේ උපත, සියළු කෙලෙස් නසා උතුම් වූ සම්බුද්ධත්වයට පත්වීම හා ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිණිවන්පෑම සිදුවූයේ අද වැනි උතුම් වෙසක් පුන් පොහෝ දිනකදීයි. අප්‍රමාණ වූ සංසාර ගමනේ අවසන් භවයේදී සිද්ධාර්ථ නමින් ලුම්බිණි සල් උයනේදීයි උන් වහන්සේ උපත ලැබුවා. බෝසතාණන්වහන්සේ සම්මා සම්බුද්ධත්වය පතා පළමු වරට නියත විවරණ ලැබුවේද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ සදහන්. වසර හයක් පුරා දුෂ්කර ක්‍රියා කරමින් බුද්ධත්වය උදෙසා උන්වහන්සේ අපමණ වෙහෙසක් දැරුවා. බුද්ධගයාවේ ඇසතු බෝරුක මුල දැඩි අධිෂ්ඨානයෙන් වැඩ සිටි අප බෝසතාණන් දසමාර සේනාව පරදවා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිමින් ලොව්තුරා බුද්ධත්වයට පත්වූනා. ලෝ වැසියනට සසරේ අඳුරු සෙවණැලි දුරු කරවන සදහම් මාවත පෙන්වා දුන් උන්වහන්සේ කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේදී පරිනිර්වාණය කරා එළඹියේ ද අද වැනි වෙසක් පුන් පොහෝදිනකදීයි. බුද්ධත්වයෙන් අට වන වසරේ වෙසක් පොහෝ දිනක උන්වහන්සේ

ලක්දිව කැලණි පුරයට වැඩම කළා. රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑයේ වැඩ ආරම්භ කිරීම සහ එහි බිම සකස් කිරීම යන කරුණු දෙකම වෙසක් පොහෝ දිනයේ සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.  මේ උතුම් පූජණීය දිනය සිහිපත් කරමින් ලොව පුරා බෞද්ධ සැදැහැවතුන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වතාවත්වල නිරතවනවා.

අයිටීඑන් සවනක් රැස් පොහෝදින සජීව වැඩසටහන මෙවර ගෙන එන්නේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිටයි. ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදී මෙම කටයුතු සිදුකෙරෙනවා. සවනක්රැස් ධර්ම දේශනය පැවැත්වූයේ ගංගාරාම විහාරාධිකාරී ආචර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේයි.  ධර්ම සාකච්ඡා භාවනා වැඩසටහන් ඇතුළු ආගමික වැඩසටහන් රැසක් අද දවස පුරා පැවැත්වෙනවා.

අයිටීඑන් එෆ් එම් ශාසනාලෝක වැඩසටහන ද මෙවර පැවැත්වෙන්නේ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය මුල්කර ගනිමිනුයි. සාමනේර භික්ෂූන් වහන්සේ දසනමකට ධර්ම ග්‍රන්ථ සහ පරිෂ්කාර පූජා කිරීම සහ උන්වහන්සේ ශාසනයට පූජාකළ දෙමව්පියන්ට උපහාර දැක්වීම ද සිදුකෙරුණා. මෙහිදී අනුශාසනාව සිදුකළේ නාරාහේන්පිට ශ්‍රී ගෞතම විහාරාධිපති ශාස්ත්‍රපති ඕමල්පේ සුමන රතන ස්වාමීන් වහන්සේයි.

අයිටීඑන් මාධ්‍ය ජාලය සංවිධාන කරන සද්ධර්ම වන්දනා වැඩසටහන ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවැත්වෙනවා. රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ,ලංකාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ධර්ම සාකච්ඡා වැඩසටහනක් පැවැත්වුණා.

ITN News Editor
By ITN News Editor මැයි 18, 2019 13:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්