fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රස්තවාදය අවසන් කිරීමට ඕනෑම සහායක් දෙන බවට චීනයෙන් සහතිකයක්

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 18:21

ත්‍රස්තවාදය අවසන් කිරීමට ඕනෑම සහායක් දෙන බවට චීනයෙන් සහතිකයක්

ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට ඕනෑම සහායක් ලබාදෙන බව චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහතික වී තිබෙනවා. මෙම අදහස් පළකර ඇත්තේ එක්දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා චීන ජනාධිපතිතුමා මුණගැසුනු අවස්ථාවේයි.

චීනයේ එක්දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(14) පස්වරුවේ චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා මුණගැසුනේ එරට ජනාධිපති මන්දිරයේදීයි. එහිදී ශ්‍රී ලංකාව තුළ මතුවූ හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝටි 260 ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට චීන රජය පියවර ගෙන තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව සදහා රුපියල් කෝටි 150 ක් වටිනා ජීප් රථ 100 ක් ඇතුළු පහසුකම් වහාම ශ්‍රී ලංකාවට ලබාදීමට චීන ජනාධිපතිවරයා මෙම හමුවේදී එකගතාවය පළකළා. දෙරට අතර ආරක්ෂක අංශවල සහයෝගීතාව වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සිදුකෙරුණේ රාජ්‍ය නායක හමුවෙන් අනතුරුවයි.

ද්වීපාර්ශ්වික සාකච්ඡා සදහා චීන ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා ඉතා සුහදශීලීව පිළිගත්තා. චීන ජනාධිපතිතුමා අනතුරුව පැවති සාකච්ඡාවලදී අවධාරණය කළේ ලොව කොතනක වුවද ම්ලේච්ඡ ත්‍රස්තවාදය තමා දැඩි ලෙස හෙළාදකින බවයි. අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවේ සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව සිය බලවත් අප්‍රසාදය පළකළ චීන ජනාධිපතිතුමා ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් සිය කණගාටුව පළකළා.

ත්‍රස්ත අභියෝග ජය ගනිමින් යළි නැගීසිටින ශ්‍රී ලංකාව සමග චීන රජය සැමවිටම අත්වැල බැදගෙන සිටින බව ෂී ජින්පින් මැතිතුමා අවධාරණය කළා. ඔහු තවදුරටත් කියාසිටියේ ඕනෑම අවස්ථාවක ඕනෑම සහායක් ලබාදීමට චීනය කටයුතු කරන බවයි අප්‍රේල් 21 වනදා සිදුවීම සහ එහිදී ගත් පියවර මෙන්ම ශ්‍රී ලංකාවේ නව ආරක්ෂක වැඩපිළිවෙල පිළිබද දෙරටේ ජනාධිපතිවරුන් විශේෂ කරුණු රැසක් සාකච්ඡා කළා. එහිදී අවධානය යොමුව ඇත්තේ දෙරටේ ආරක්ෂක අංශ අතර සහයෝගීතා වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීම සහ බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරු වැඩසටහන් පුළුල්කර ගැනීම පිළිබදවයි.

එහිදී ජනාධිපතිතුමා පවසා ඇත්තේ ත්‍රස්තවාදය මැඩලීමේ දී මෙන්ම අන්තර්ජාල සහ සමාජ වෙබ්අඩවි හරහා අසත්‍ය ප්‍රචාර පතුරවමින් සැගවී සිට ත්‍රස්තවාදය වපුරන පිරිස් සහ අපරාධ සිදුකරන්නන් හදුනාගැනීමටත් එම අපරාධ වළක්වා ගැනීම සදහාත් අවශ්‍ය තාක්ෂණික උපකරණ හා දැනුම ශ්‍රී ලංකාවට නොමැති බවයි. එම උපකරණ සහ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාගැනීම සදහා කඩිනමින් සහාය ලබාදීමට චීන ජනාධිපතිතුමා එකගතාව පළකර තිබෙනවා. ඒ පිළිබද සොයා බැලීමට චීන තාක්ෂණික කණ්ඩායමක් එවීමට ද මෙහිදී චීන ජනාධිපතිතුමා කැමැත්ත පළකළා. චීන ණය ආධාර මත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබදව ද මෙහිදී දෙරටේ නායකයින් සාකච්ඡාකර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 18:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්