නවීන තාක්ෂණය මිනිසාගේ ප්රගමනයට මිස විනාශයට භාවිත නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා.
පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් ආයතනය මගින් රුපියල් මිලියන 2500 ක් වැය කර ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ගණනාවක් ජනතා අයිතියට පත් කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණා. එමෙන්ම පොළොන්නරුව නගරය මෙරට ප්‍රථම සුහුරු නගරය ලෙස ප්‍රකාශයට පත් කිරීම සිදු කළේ ද ජනාධිපතිතුමා අතින්. පොළොන්නරුව දීප උයනේ ෆයිව් ජී සන්නිවේදන කුළුණ විවෘත කිරීම හා හබරන පොළොන්නරුව මාර්ගයේ දැනට පවතින සන්නිවේදන දුබලතා මග හැරවීම සඳහා වූ සන්නිවේදන කුළුණ විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා.
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පොළොන්නරුව නගරයේ ඉදි කළ වෙළෙඳ සංකීර්ණය ජනාධිපතිතුමා විවෘත කළේ ඉන් අනතුරුවයි. කඩ කාමර 18 කින් සමන්විත අංග සම්පූර්ණ වෙළෙඳ සංකීර්ණයක් ලෙස මෙය ඉදිකර තිබෙනවා. ඒ වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් මිලියන 44 ක්. තමන්කඩුව හිටපු දිසාපතිවරයාට අයත් ඉපැරණි නිල නිවස සංස්කෘතික දේපළක් ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා ගැනීමෙන් අනතුරුව කඩා ඉවත් කළ නොහැකි මෙම ගොඩනැගිලි සංකීර්ණය එහි සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කර වෙළෙඳ සංකීර්ණයක් ලෙස නිර්මාණය කර තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ව්‍යාපාරික අවස්ථා වැඩිදියුණු කිරීම එහි අරමුණයි. සමරු ඵලකය නිරාවරණය කර වෙළෙඳ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අනතුරුව සංකේතවත්ව කඩ කාමර හිමියන් වෙත එය පවරා දීම ද මෙහිදී සිදුකෙරුණා. එහි වෙළෙඳ සංගමයේ නියෝජිතයින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබුවා.
නවීන තාක්ෂණික පහසුකම් සහිතව නවීකරණය කළ පොළොන්නරුව ප්‍රාදේශීය ටෙලිකොම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක්වුණේ ඉන් අනතුරුවයි. නව කාර්යාලයේදී පළමු ගනුදෙනුකරු ලෙස අන්තර්ජාල සම්බන්ධතාව ලබා දීම සිදුකෙරුණේ ජනාධිපතිතුමා අතින්. වැඩිදියුණු කරන ලද ඇමතුම් මධ්‍යස්ථානය ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා. අනතුරුව පොළොන්නරුව චන්ද්රමණ්ඩපයේ පැවති උත්සවයේදී දිස්ත්‍රික්කයේ පාසල් 110 ක් සඳහා නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීම සිදු කෙරුණා. එය සංකේතවත් කරමින් පාසල් 10 ක් සඳහා ප්‍රදාන පත්‍ර ලබාදීම සිදුකළේ ජනාධිපතිතුමායි. මොබිටෙල් ආයතනය මගින් නොමිලේ ලබා දී ඇති ග්‍රාමීය අන්තර්ජාල පහසුකම් යටතේ නවගිනිදමන මහා විද්‍යාලයේ දරු දැරියන් උත්සව සභාවට සජීවීව සම්බන්ධ කර ගනිමින් ජනාධිපතිතුමා උත්සව සභාව ඇමතුවා.
එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසුවේ මෙම සියලු පහසුකම් ලබා දෙනුයේ දරුවන්ට නවීන ලෝකයේ දොරගුළු විවර කර දීම වෙනුවෙන් බවයි. නවීන තාක්ෂණයේ යහපත් පැතිකඩ පමණක් භාවිතයට ගනිමින් ලෝකය දිනූ දරු පරපුරක් රට තුළ බිහිවනු දැකීම තම අරමුණ බව ද ජනාධිපතිතුමා කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/blV7GaRcNOY”]
ඉදිකරමින් පවතින පොළොන්නරුව කෞතුකාගාරයේ කටයුතු නිරීක්ෂණය කිරීමට ද ජනාධිපතිතුමා එක්වුණා.