ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබද ජනාධිපති විද්වත් කමිටු වාර්තාවේ නිර්දේශ නොපමාව ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. තවත් යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය හිමිවුණා.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබද නිර්දේශ ලබාගැනීම සදහා විද්වත් කමිටුවක් පත් කළේ ජනාධිපතිතුමායි. ඒ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සහභාගීත්වයෙන්. එම කමිටු වාර්තාවට අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මූල්‍ය සහ ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු නිර්දේශ කිහිපයක් ඇතුළත්. එම නිර්දේශ නොපමාව ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපතිතුමා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.
පඩි පාලක සභා ආඥා පනත සංශෝධනය කෙරෙනවා. යම් ආයතනයකට කොන්ත්‍රාත් සේවකයින් බදවා ගැනීමේ දී ස්ථීර සේවකයන්ට සිදුවිය හැකි අගතිදායක තත්ත්වයන් වළක්වා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබද පඩි පාලක සභා ආඥා පනතේ 59අ වගන්තිය මේ අනුව සංශෝධනය කෙරෙනු ඇති.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට එළඹීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කළා.
මේ අතර සැකකරුවන් හා චූදිත තැනැත්තන් අවශ්‍ය අවස්ථාවලදී පමණක් පෞද්ගලිකව අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් සති දෙකකට වරක් අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී එම රැදවූවන් බන්ධනාගාර නිලධාරීන් මෙන්ම ජනතාවද සැලකිය යුතු අවධානමකට ලක්වනවා. ඒ අනුව විශේෂිත අවශ්‍යතාවන් යටතේ අදාළ චූදිතයන් පෞද්ගලිකව අධිකරණයට පැමිණීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීමට නව නීති ගෙන ඒම අරමුණයි. ඒ සදහා සකස්කර ඇති කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ නඩත්තු ධාරිතාව ශක්තිමත් කිරීම , ආරක්ෂාව වැඩි කිරීම ආදී ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සදහා අවශ්‍ය අරමුදල් ආසියා සංවර්ධන බැංකුවෙන් ලබාගැනීම පිණිස වන යෝජනාවකට ද කැබිනට් අනුමැතිය හිමිවුණා.
ජාතික චිත්‍රපට සංස්ථාව මගින් සිනමා ශාලාවල මත්පැන් අලෙවි බලපත්‍ර සදහා නිර්දේශ ලිපි නිකුත්කිරීම අත්හිටුවීමට රජය තීරණය කළා. සිනමා ශාලා තුළ මත්පැන් අලෙවිසැල් ස්ථාපනය මගින් ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහළ නැංවීම අපේක්ෂා කළ ද මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන් හේතුවෙන් අනෙකුත් ප්‍රේක්ෂකයන් අපහසුතාවට ලක්වීම ඊට හේතුවයි.
මේ අතර එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සිනමා ශාලා සංවර්ධනය සදහා මූල්‍ය ණය පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතියකට ද කැබිනට් අනුමැතිය හිමිවුණා.