මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහායක්ම දෙන බවට ජගත් මහ ලේකම්වරයා ඇතුළු ලෝක නායකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහතික වී තිබෙනවා. ලෝක නායකයින් දුරකතනයෙන් අමතමින් ජනාධිපතිතුමා වෙත මේ බව දැනුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ඊයේ පස්වරුවේ ජනාධිපතිතුමා වෙත විශේෂ දුරකතන ඇමතුමක් ලබාදෙමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට එල්ල වූ බිහිසුනු ප්‍රහාර පිළිබද තමා බලවත් කණගාටුව සහ සංවේගය පළ කරන බවයි. මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදෙන බවට ජගත් මහලේකම්වරයා ජනාධිපතිතුමාට පොරොන්දු වී තිබෙනවා.
මෙම ඛේදජනක සිදුවීමෙන් මියගිය සියලු දෙනාගේ පවුල්වල ඥාතීන් වෙත සිය සංවේගය පළ කරන බවත් තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ජගත් මහ ලේකම්වරයා ප්‍රකාශ කළා. මේ අතර පකිස්තාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි සහ තුර්කි ජනාධිපති රිචේප් තයිප් එර්දගොන් යන මහත්වරුන් ද ජනාධිපතිතුමා වෙත දුරකතනයෙන් අමතමින් සිය කණගාටුව සහ සංවේගය පළ කළා.
ඔවුන්ද අවධාරණය කළේ ත්‍රස්තවාදය දැඩි ලෙස හෙළා දකින බවයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ කටාර් එමීර්වරයා වන ෂේක් තමීම් බින් අහමඩ් අල්තානි මහතාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත දුරකතන ඇමතුම් ලබාදෙමින් කණගාටුව සහ සංවේගය පළ කළා. මෙම දුෂ්කර අවස්ථාවේ තමන් ශ්‍රී ලංකාව සමග අත්වැල් බැදගෙන සිටින බවද ඔවුන් අවධාරණය කළා.