ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා. ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයෙන් ද මේ වනවිට ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබෙනවා.
සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු රාජකාරි ආරම්භ කිරීම බියගම එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ දී අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන්ගේ උන්නතිය වෙනුවෙන් රජය පියවර රැසක් ගන්නා බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/U4ew3DOHyW0″]
මේ අතර ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබෙනවා. සීමා මායිම් රහිත වාර්තාකරුවන්ගේ සංගමය සකස් කළ මෙම දර්ශකයට අනුව ස්ථාන පහකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. රටවල් 180ක් අතුරින් මේ අනුව ශ්‍රී ලංකාවට 126 වන ස්ථානය හිමිව තිබෙනවා. 2014 වසරේදී ශ්‍රී ලංකාව පැවතියේ 165 වන ස්ථානයේයි. ගත වූ වසර කිහිපය තුළ ක්‍රමයෙන් එය 126 දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු සිද්ධීන් පිළිබදව පරීක්ෂණ පවත්වමින් රජය ගන්නා පියවර මෙහිදී ඇගයීමට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත් සමීක්ෂණ වාර්තාව පවසන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිදු වූ දේශපාලන වෙනසත් සමග ඇතැම් මාධ්‍ය ආයතනවලට හා මාධ්‍යවේදීන්ට බලපෑම් සිදුවූයේ නැතිනම් මීට වඩා යහපත් ස්ථානයකට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිව තිබූ බවයි. ලෝකයේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඉදිරියෙන්ම සිටින රට ලෙස මෙම දර්ශකයේ දැක්වෙන්නේ නෝර්වේ රාජ්‍යයයි. මාධ්‍ය නිදහස අවම රට ලෙස ටර්කිමේනිස්තානය පත්ව සිටිනවා. රටවල් 180 අතුරින් චීනය පසුවන්නේ 177 වන ස්ථානයේයි. අසල්වැසි ඉන්දියාව 140 වන ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය 150 වන ස්ථානයේත් පාකිස්තානය 142 වන ස්ථානයේත් පසුවනවා.