සම්බුදු දහමින් සමගියේ බලය ලොවට ප්‍රදර්ශනය කළ බක් පුරපසළොස්වක පොහොය දිනය අදයි. සමස්ත බෞද්ධ ජනතාවට අතිශය වැදගත් සිදුවීම් ගණනාවක් බක් පුරපසළොස්වක පොහෝ දිනයේ සිදුවූ බව ශාසන ඉතිහාසයේ සදහන්.
බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූයේ අද වැනි බක් පුරපසළොස්වක පොහෝ දිනකයි. ලක්දිවට වැඩම කළ උන් වහන්සේ නාගදීපයේ චූලෝදර මහෝදර නාරජවරුන් දෙදෙනා අතර වූ ගැටුම නවතා ධර්මය දේශනා කර ඔවුන් සමගි කරවීමට කටයුතු කළා. ලංකාද්වීපයට වැඩම කර සිටි බුදුරජාණන් වහන්සේට කැළණියට වැඩම කරන ලෙස මණිඅක්ඛිත නා රජතුමන් ඇරයුම් කළේ ද අද වැනි බක් පුර පසළොස්වක පොහෝදාකයි. මිණිපළග තැන්පත් කොට නාගදීප චෛත්‍ය ඉදිකිරීම ද අද වැනි පොහෝ දිනකම සිදුවුණා. සිදුහත් කුමරුන් උයන්සිරි නැරඹීමට යමින් සිටියදී සතර පෙර නිමිතිවල පළමුවැන්න වූ මහළු රූපයක් දැකීමද බක් පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සදහන්.
සෑම පෙහෝ දිනකම ITN ඔස්සේ විකාශය කරන සවනක් රැස් වැඩසටහන මෙවර ගෙන එනු ලැබුවේ කටුපොත පොතුවැව ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ සිටයි. පූජ්‍ය බෝගහපිටියේ ධම්මිස්සර ස්වාමින් වහන්සේගේ මුලිකත්වයෙන් එම කටයුතු සංවිධාන කර තිබුණා. ප්‍රධාන ධර්ම දේශනය පැවැත්වුයේ පූජ්‍ය පොල්පිති මූකලානේ ප්රඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේයි. දාන, ශීල, භාවනා ඇතුලු පිංකම් රැසක් අද දවස පුරා පැවති අතර එම වැඩසටහන් සියල්ල ඔබ වෙත ගෙන ඒමට ITN මාධ්‍ය ජාලය කටයුතු කළා.
ITN FM සංවිධාන කළ ශාසනාලෝක වැඩසටහන ද කටුපොත පොතුවැව ශ්‍රී ශෛලතරාම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණා. සාමනේර ශික්ෂූන් වහන්සේ විෂයෙහි ග්රන්ථ කට්ටල ඇතුළු පිරිකර පූජා කිරීම හා උන්වහන්සේගේ දෙමව්පියන් ඇගයීම ද ශාසනාලෝක වැඩසටහන යටතේ සිදුවුණා.