ශ්‍රී ලාංකිකයන් අභ්‍යවකාශය ජය ගැනීමේ පළමු අවස්ථාව සටහන් කරමින් මෙරට ඉංජිනේරු සිසුන් දෙදෙනෙකු නිර්මාණය කළ රාවණ වන් චන්ද්‍රිකාව අද අලුයම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාම සිදු කෙරුණා. මෙම චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 2.16ටයි කක්ෂගත කෙරුණේ.
දුලානි චාමිකා විතානගේ සහ තරිදු දයාරත්න,රාවණ-වන් චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වනවා. ඔවුන් එය නිර්මාණය කළේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේයි. ඔවුන් දෙදෙනාම මේ වන විට ජපානයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටිනවා. තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ පසුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක්ව තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු උපාධිය හදාරා ඇති තරිදු දයාරත්න ද ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනෙරුවරයෙකු ලෙස සේවය ආරම්භ කළ අයෙක්.
රාවණ-වන් චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීම සදහා ජපාන අභවකාශ ගවේෂණ එජන්සිය වෙත භාරදීම සිදු කෙරුණේ පසුගිය පෙබරවාරි 18 වනදායි. එය රැගත් රොකට්ටුව ඇමෙරිකාවේ වර්ජිනියා හි පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා යැවීමට කටයුතු කෙරුණා. මෙම සුවිශේෂී චන්ද්‍රිකාවට රාවණ-වන් යනුවෙන් නම් තබා ඇත්තේ රාවණා රජුගේ ගුවන් තාක්ෂණය පිළිබඳ ලෝකයට කියා පෑමේ අරමුණින් බවයි එහි නිර්මාණකරුවන් පවසන්නේ. නාසා ආයතනය නිවේදනය කළේ මෙම රොකට්ටුව පිටත් කිරීම සදහා යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බවයි. නාසා ආයතනයේ භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය මගින් අදාළ චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබුවා.
රාවණ-වන් යනු ගණක චන්ද්‍රිකාවක් වන අතර එය කුඩා චන්ද්‍රිකාවක්. ඝන සෙන්ටිමීටර් දහසක විශාලත්වයෙන් යුතු චන්ද්‍රිකාවේ බර කිලෝග්‍රෑම් 1.05ක් බව වාර්තා වනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400 ක් පමණ දුරින් රාවණ එක කක්ෂගත කිරිමට නියමිතයි. එහි අවම කාලය අවුරුදු එකහමාරක් වන අතර වසර 5 ක් දක්වා එය පැවතිය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.
චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් ප්‍රධාන අරමුණු පහක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි. ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම ඉන් එක් අරමුණක්. ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ලෝරා මොඩියුල් නමැති මෘදුකාංගය අත්හදා බැලීම තවත් අරමුණක්. චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඪාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීමද අරමුණු අතර වනවා. කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම පිළිබඳ අත්හදා බැලීමටද නියමිතයි. පෘථිවියේ චුම්බක ශක්තිය පිළිබද අධ්‍යයනය කිරීමද මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ තවත් අරමුණක් වනවා. සැබවින්ම ශ්‍රී ලාංකිකයන් යැවූ පළමු චන්ද්‍රිකාව පිළිබඳව තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා මෙසේ අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/48Bt8T6wq8U”]