fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 5කින් නෝත්‍රඩාම් යළි ඉදිකරන බවට ප්‍රංශ ජනපතිගෙන් සහතිකයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 09:16

වසර 5කින් නෝත්‍රඩාම් යළි ඉදිකරන බවට ප්‍රංශ ජනපතිගෙන් සහතිකයක්

ගිනි ගැනීමට ලක් වූ ප්‍රංශයේ පැරිසියේ පිහිටි නෝත්‍රඩාම් දේවස්ථානය පෙරටත් වඩා ආකර්ශණීය අයුරින් නැවත ගොඩ නගන බව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසනවා.

පෙරේදා හටගත් ගින්නෙන් වසර 850ක් පැරණි නෝත්‍රඩාම් දේවස්ථානයේ වහලය මුළුමුනින්ම විනාශයට පත්වුණා. මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එරට ජනාධිපතිවරයා සදහන් කළේ සියලු දෙනාම එක්ව දේශපාලන මතිමතාන්තර ඉවතලා දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරිමට එක්විය යුතු බවයි.

මේ වන විට දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා අරමුදලක් ද පිහිටුවා ඇති අතර ඒ සදහා දැනටමත් ලෝක ධනවතුන් රැසකගේ ආධාර ලැබී ඇති බවද සදහන්. මෙසේ එක්රැස් කර ගන්නා ආධාර මුදල් වලින් වසර පහක් ඇතුළත දෙව්මැදුර යළි යථා තත්ත්වයට ගෙන ඒම තම උත්සාහය බවයි එමානුවෙල් මැක්‍රෝන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ.

එහි තිබූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කටු ඔටුන්න ඇතුළු පෞරානික වස්තූන් රැසක් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ අතර ඒවා පැරිස් නුවර ලූවර් කෞතුකාගාරය වෙත මාරු කර යැවීමටත් ප්‍රංශ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මේ අතර ගින්න තවත් පැය භාගයක පමණ කාලයක් පැතිරුනේ නම් සම්පූර්ණ දේවස්ථානයම විනාශ වීමට ඉඩ තිබු බවයි ප්‍රංශ නිලධාරීන් සදහන් කරන්නේ. ගිනි නිවන අංශ පැය 9ක් පුරා දැරූ උත්සාහයෙන් අනතුරුව දේවස්ථානයේ ගොඩනැගිල්ල ඇතුළු ප්‍රධාන ශෛලමය සැකිල්ල ආරක්ෂා කර ගැනීමට හැකිවුණා. කෙසේ වෙතත් දේවස්ථාන ගොඩනැගිල්ලේ ගින්න සම්බන්ධ පරීක්ෂණ සදහා විශේෂඥයින් 50 දෙනෙකු එක්ව සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම වාර්තාව ලබාදිම සදහා මේ වන විටත් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සදහා දින කිහිපයක කාලයක් ගතවනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්