fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දස දෙනෙකුට මරු කැඳවූ මහියංගනය රිය අනතුර (Video)

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 08:53

දස දෙනෙකුට මරු කැඳවූ මහියංගනය රිය අනතුර (Video)

මහියංගනය ජාතික පාසල ඉදිරිපිට සිදු වූ මාරක රිය අනතුරකින් 10 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා. ඔවුන් පවුල් 3 කට අයත් සාමාජිකයින්. බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා. වෑන් රථයේ රියදුරුට නින්ද යාමත් සමඟ වැරදි මංතීරුවේ ධාවනය වීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

මහියංගනය බදුල්ල මාර්ගයේ මහියංගනය ජාතික පාසල ඉදිරිපිටදී බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවුණේ අද අලුයම 1.35 ට පමණයි. බස් රථය ත්‍රිකුණාමලයේ සිට දියතලාව දක්වා ගමන් කරමින් තිබුණා. එහි ගැටුණු වෑන් රථය බස් රථය තුළට කඩාවැදී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය තුළ 12 දෙනෙකු ගමන් කර ඇති අතර බරපතල තුවාල ලැබූ ඔවුන් මහියංගනය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී 10 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වූ බවයි රෝහල් වාර්තා සදහන් කළේ. බරපතල තත්ත්වයේ පසු වූ සෙසු දෙදෙනා බදුල්ල මහ රෝහල වෙත මාරුකර තිබෙනවා.

ජීවිතක්‍ෂයට පත්වූවන් අතර වැඩිහිටියන් 7 දෙනෙකු හා ළමයින් 3 දෙනෙකු වනවා. අනතුරින් ජීවිතක්‍ෂයට පත්වුණේ මඩකලපුවේ පදිංචි පවුල් 3 කට අයත් වූවන් බව පොලීසිය සඳහන් කළා. ලිස්ටර් ඇලෙක්සැන්ඩර් නමැති වයස අවුරුදු 32 ක් වන පුද්ගලයෙකු හා ඔහුගේ බිරිඳ වන 27 හැවිරිදි නිසාලින් ඇලෙක්සැන්ඩර් අනතුරින් මිය ගියා. ඔවුන්ගේ වයස අවුරුදු 4 ක් වන නිවුන් දැරියන් දෙදෙනා ද අනතුරින් ජීවිතක්‍ෂයට පත්වුණා. ප්‍රින්ස් හෙන්ඩ්‍රික් නමැති 48 හැවිරිදි පුද්ගලයෙකු හා ඔහුගේ බිරිඳ , දියණිය හා පුතා ද අනතුරින් මිය ගිය අය අතර තවත් දියණියක බරපතල තුවාල ලැබුවා. වයස අවුරුදු 56 ක් වන ජෝශප් රෙලින්ටන් හා වයස අවුරුදු 50 ක් වන ඔහුගේ බිරිඳ ද අනතුරින් මිය ගියා. මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් 6 දෙනෙකු ද තුවාල ලැබුවා. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර,

මේ අතර දඹුල්ල කණ්ඩලම මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු බරපතල තුවාල ලැබුවා. වෑන් රථයක් හා ත්‍රි රෝද රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. වෑන් රථයේ රියදුරු පොලීසිය අත්අඩංගුවට ගත්තා.

අනුරාධපුර,විලච්චිය ප්‍රධාන මාර්ගයේ මදුරුපිටිගම මංසන්ධියේ සිදුවූ අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.අතුරු මාර්ගයක සිට අපරීක්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගයට ගමන් කළ යතුරුපැදියක් සහ ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් මියගියේ යතුරුපැදියේ පසුපස ගමන් කළ 45 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ පසුගිය 13 වනදා සිට ඊයේ දිනය දක්වා මාරක රිය අනතුරු 27 ක් සිදුව ඇති බවයි. ඉන් 38 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා. පසුගිය වසරට සාපේක්‍ෂව මාරක අනතුරු සිදුවීමේ සුළු අඩුවක් වාර්තා වුව ද 13 , 14 හා 15 යන දිනවල පමණක් මාරක රිය අනතුරු 50 ක් සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ. ඉන් පුද්ගලයින් 51 දෙනෙකු ජීවිතක්‍ෂවට පත්වුණා. අපරික්‍ෂාකාරී රිය ධාවනය , අධික වේගය මෙන්ම බීමතින් රිය ධාවනය මෙම අනතුරුවලට හේතුව බව පොලීසිය සදහන් කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 08:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්