fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එච් එම් ජයවර්ධනයන් අද දැයෙන් සමුගනී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 10:51

එච් එම් ජයවර්ධනයන් අද දැයෙන් සමුගනී

ප්‍රවීන සංගීතඥ අභාවප්‍රාප්ත එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (10) පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතයි. ඒ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

එච්.එම් ජයවර්ධනයන් මිය යන විට 69 වන වියෙහි පසුවුණා. දහසකට අධික ගී තනු සංඛ්‍යාවක් ශ්‍රී ලාංකේය ගීත කලාවට තිළිණ කළ ඒ මහතාගේ නිර්මාණ ශ්‍රී ලාංකේය රසකාමී හදවත් තුළ නොමැකෙන සටහන් රැසක් ඉතිරි කළා. එච් එම් ජයවර්ධනයන් නැසීගිය ගායන ශිල්පීනී විශාරද මාලනී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියා සහ ජනප්‍රිය ගායන ශිල්පී කසුන් කල්හාර මහතාගේ පියාද වනවා.

එච් එම් ජයවර්ධන මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පෙන්වා දී ඇත්තේ වෙළෙදපොල බලවේගවලට යට නොවන තරමේ අභිමානයකින් යුතුව තම ගමන මෙහෙයවූ සංගීතඥ එච් එම් ජයවර්ධන මහතාගේ අභාවය සංගීත ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි.

ජනප්‍රිය සංගීත රැළිවලට හසු නොවී කවර අධුනික ශිල්පියෙකු වෙත දයාවෙන් කටයුතු කළ සංගීතඥයෙකු ලෙස එච් එම් ජයවර්ධනයන් හැදින්විය හැකි බව ජනාධිපතිතුමා එම පණිවුඩයෙන් පෙන්වා දී තිබෙනවා. එච් එම් ජයවර්ධනයන් අපෙන් සමුගෙන යන්නේ සරළ ගීතය පවතිනතාක් රසවිදිය හැකි මධුර ගී තනු සිය ගණනක් මෙන්ම විශ්ව සංගීත රසික දන වෙත ගමන් කළ හැකි ප්‍රතිභාවෙන් යුතු පුතෙකු දායාද කරමින් බවයි ජනාධිපතිතුමා එම ශෝක පණ්වුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

මේ අතර බොරැල්ල ජයරත්න මල් ශාලාව වෙත ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එච් එම් ජයවර්ධන මහතාගේ දේහයට ඊයේ (09) අවසන් ගෞරව දැක්වූවා. එච් එම් ජයවර්ධන මහතාගේ පුතනුවන් වන කසුන් කල්හාර මහතා ඇතුළු පවුලේ ඥාතීන් වෙත අග්‍රාමාත්‍යවරයා සිය සංවේගය පළකළා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එච් එම් ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූවා. අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදී එච් එම් ජයවර්ධන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද (10) පස්වරු තුනට සිදුකිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 10:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo