Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලීසියට අන්තර්ජාතික පිළිගැනිමක් ලබාදීම අරමුණ බව ජනපති කියයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 08:53

පොලීසියට අන්තර්ජාතික පිළිගැනිමක් ලබාදීම අරමුණ බව ජනපති කියයි

ශ්‍රී ලංකා පොලිස් සේවාව ජාතික වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද ඉහළ පිළිගැනීමක් ඇති සේවාවක් බවට පත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතේ පවතින කාලසීමාව තුළ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.

කළුතර පොලිස් අභ්‍යාස ආයතනයේ කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ විසිරයාමේ පෙළපාළිය ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ පැවැත්වුණු අතර, එම අවස්ථාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ලොව දියුණු රටවල පොලිස් සේවාවන් හා සැසඳීමේ දී ශ්‍රී ලංකා පොලිස් සේවාව වෙනස්කම් රැසකට භාජනය විය යුතු ව තිබෙන බවයි.

එම ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමීප කරවීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර වශයෙන් සිදුකළ යුතු පරිවර්තනීය වැඩපිළිවෙළ පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතට පවරාගත් ඉකුත් මාස කිහිපය තුළ ආරම්භ කළ බව ජනාධිපතිතුමා පැවසීය.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යයට පමණක් සීමා නොවූ ශ්‍රී ලංකා පොලිසිය අද මහජන සුබසාධන සේවාවන්වල දී ඉටුකරන මානුෂීය හා විශිෂ්ට මෙහෙවර ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක් කෙරිණි.

පස්වරුවේ කලුතර පොලිස් අභ්‍යාස ආයතනය වෙත ගිය ජනාධිපතිතුමා පොලිස් උත්තමාචාර මධ්‍යයේ අභිමානවත් අයුරින් පිළිගැනිණි.

ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස ආයතනයේ ඉතිහාසය තුළ පොලිස් කාන්තා බලඇණියක් විසිර ගිය ප්‍රථම අවස්ථාව මෙයවීම විශේෂත්වයක් වන අතර පොලිස් අභ්‍යාස ආයතනයේ පුහුණුව සාර්ථක ලෙස අවසන් කළ කාන්තා කොස්තාපල්වරියන් 586 දෙනෙකු සහ උප පොලිස් පරීක්ෂකවරියන් 27 දෙනෙකු ඇතුළු 613 දෙනෙකු ඊයේ දින විසිර ගියහ.

විශිෂ්ටතා දැක්වූ පොලිස් නිලධාරිනියන්ට සම්මාන සහ සහතික පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් ද, පොලිස්පති පූජත ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න යන මහත්වරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 08:53
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්