රථ වාහන වැරදි හතක අවම දඩ මුදල රුපියල් විසිපන්දහස දක්වා වැඩිකර තිබෙනවා. ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇති බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ.
රථවාහන වැරදි 7ක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා. ඒ අනුව රථවාහන වැරදි සදහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීමට කටයුතු කෙරෙනු ඇති. ඒ සදහා මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
දඩ මුදල් පිළිබඳව විමසා බැලීමට ජනාධිපතිතුමා පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළේ දඩ මුදල් වැඩිකිරීම්වලට එරෙහිව නැගුනු විරෝධතා සැළකිල්ලට ගනිමින්. ඒ අනුව එම කමිටුව සිදුකළ විමර්ශනවලින් පසුව රථවාහන වැරදි 7ක් සඳහා අවම දඩ මුදල රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමට නිර්දේශ කරනු ලැබුවා. ඒ අනුව වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැත්තන් රථවාහන ධාවනයේ යෙදවීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය, දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව රථවාහනයක් ඇතුළු කිරීම එම වැරදිවලට ඇතුළත්. එමෙන්ම වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය ඊට ඇතුළත් වන අතර වමෙන් ඉස්සර කිරීමේ වරදට ද දඩ මුදල් වැඩි කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.