දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ පැවති පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම පූර්ණ පරාජයකට ලක්වුණා. ඒ දෙරට අතර පැවති තුන්වන හා අවසන් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 45 ක ජයක් දකුණු අප්‍රිකාව ලබාගැනීමත් සමඟයි.
ජොහැන්නස්බර්ග් හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා. කුසල් මෙන්ඩිස් වෙනුවට සුරංග ලක්මාල් කණ්ඩායමට කැදවා තිබුණා. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසිසේ පහරදුන් දකුණු අප්‍රිකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 02 ක් දැවී ලකුණු 198 ක් ලබාගැනීමට සමත්වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට හොද ආරම්භයක් ලබාදුන් නිරෝෂන් දික්වැල්ල වේගවත් ලකුණු 38 ක් ලබා ගත්තා. එහෙත් ඔහුට සහයවීමට කිසිදු ඉදිරිපෙළ පිතිකරුවකුට හැකිවූයේ නැහැ. ඉනිමේ හත්වන පිතිකරු ලෙස පිටියට පිවිසි ඉසුරු උදාන කණ්ඩායම ජයග්‍රහණයට කැදවාගෙන යාමට උත්සාහ කළා. පන්දුවාර 11 යි එක් පන්දුවක් අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 06 ක් දැවී ලකුණු 111 ක් ලබා සිටියදී වැසි ඇද වැටුණා. මේ අනුව තරගය පැයකට අධික වේලාවක් නතරකර තිබීම හේතුවෙන් පන්දුවාර 17 ක් අවසානයේ ලකුණු 183 ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණා. එය හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියළුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 137 ක් පමණයි. ඉසුරු උදාන වේගවත් ලකුණු 36 ක් ලබා ගත්තා.