තායිලන්තයේ නිල මැතිවරණ ප්‍රතිඑල නිකුත් කිරිම අද සිදුකෙරෙනවා. මේ වනවිට ලැබි ඇති වාර්තා අනූව මිලිටරි හිතවාදි පලාන්ග් ප්‍රචා රාත් පක්ෂය අනපේක්ෂිත ලෙස පෙරමුණේ පසුවන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.
ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව මිලියන 52ක්. ඉන් මිලියන හතක්ම පළමු වරටයි මෙවර ඡන්දය භාවිත කළේ. මේ වනවිට 90%කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ගණන් කර අවසන්. ඉන් මිලියන 7.6කට වැඩි ඡන්ද ප්‍රමාණයක් එම පක්ෂය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තුවේ ආසන 500ක් වෙනුවෙන් නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා තායිලන්ත මැතිවරණය පැවැත්වුණා. ඒ 2014 වසරේ සිදුවූ හමුදා කුමන්ත්රණයෙන් පසු පළමු වරටයි. පලාන්ග් ප්‍රචා රාත් පක්ෂයේ වර්තමාන නායකයා සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට ඔවුන් සාකච්ඡා කරමින් සිටින බව තායිලන්ත ප්රවෘත්ති වාර්තා සඳහන් කළා.
සාමය සහ නීතිය ආරක්ෂා වන ආකාරයෙන් ඡන්දය පවත්වන්නැයි මහා වජිර ලොන්කොන් රජු මැතිවරණයට පෙර සියලු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබෙනවා. යහපත් පුද්ගලයන්ට පමණක් සහාය දක්වන ලෙසයි ඔහු එහිදී ප්‍රකාශ කළේ.