ශ්‍රී ලංකාවේ සංහිදියාව ප්‍රවර්ධනය , වගවීම සහ මානව හිමිකම් මැයෙන් ජගත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කෙරුණු යෝජනාව කිසිදු ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා. ඒ සමඟ 2015 ඇති කර ගැනුණු යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා ශ්‍රී ලංකාවට තවත් වසර 2 ක කාලයක් හිමිවනවා. මෙහිදී විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා කියා සිටියේ මේ ආකාරයෙන් මෙම යෝජනාව සම්මතවීම ශ්‍රී ලංකාවේ දේශපාලනික කැපවීම සහ රජය ගෙන ඇති ප්රගතිශීලී පියවර පිළිගැනීමේ සළකුණක් ලෙස ශ්‍රී ලංකා රජය සළකන බවයි.
විදේශ අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් කියාසිටියේ බිම් මට්ටමේ කරුණු තහවුරු කර ගැනීම සදහා අදාළ දේශීය ආයතන සමග සමීපව කටයුතු කරන මෙන් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට ඇරයුම් කරන බවයි. බිම් මට්ටමේ ඇති කරුණු තහවුරු කර ගැනීම සදහා ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන ආයතන සමග සමීපව කටයුතු කිරීමෙන් සැබෑ තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය සහ මුහුණදෙන සැබෑ අභියෝග පිළිබද වඩාත් යථාර්ථවාදී තක්සේරුවක් මීළග වසරේ ඉදිරිපත් කිරීමට මානව හිමිකම් කවුන්සිලයට ඉන් අවස්ථාව සැලසෙනු ඇති බවද අමාත්‍යවරයා කියාසිටියා. සියලු කාර්යයන් සාර්ථක කර ගැනීම සදහා අදාළ හවුල්කරුවන්ගෙන් ලැබුණ සහාය අගය කරන බව ද ඔහු පැවසුවා.
මානව හිමිකම් කවුන්සිලයේ කාර්යයන් කෙරෙහි ශ්‍රී ලංකාව සතු විවෘත සහ ඵලදායී ප්‍රවේශය ඉතා හොදින් හදුනාගෙන තිබෙනවා. ප්‍රධාන මානව හිමිකම් සංවිධාන හතක් සහ විශ්ව කාලාන්තර සමාලෝචනය සමග සමීපව ශ්‍රී ලංකාව කටයුතු කර තිබෙනවා. මානව හිමිකම් විශේෂ නියෝජිතයන් සහ ස්වාධීන විශේෂඥයන් කරඇති සංචාර අටකට පහසුකම් සැපයීමට ද ශ්‍රී ලංකාව කටයුතු කළා. ඒ තුළින් ශ්‍රී ලංකාව කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු දහසකට අධික නිර්දේශ සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සැපයෙන ප්‍රතිපාදන වලින් මාර්ගෝපදේශනය ලැබ රටේ ජාතික අරමුණු එකහා සමානව සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය ආරක්ෂා කිරීම සදහා ප්‍රායෝගික විසදුම් සෙවීමට කැපවී සිටිනවා. සියලු පුද්ගලයන්ටත් සමස්ත ශ්‍රී ලාංකික සමාජයටත් රටෙන් පිට සිටින සියලු සංවාදකයන්ටත් සහතිකයක් ඉන් ලැබෙන බවයි විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා මෙහිදී සදහන් කළේ.