ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ගොඩනංවන ලද ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 437ක මූල්‍ය ප්‍රතිපාදන උපයෝගි කර ගනිමින් අනුරාධපුර මහ රෝහලට අනුබද්ධව ඉදිරන ලද “මෙත්සිරි සෙවණ” වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (20) විවෘත කෙරේ.
පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සමයේ තම ප්රචාරක කටයුතු වෙනුවෙන් ලද අරමුදල් උපයෝගි කරගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ස්ථාපිත කරන ලද ජාතික වකුගඩු අරමුදල මේ වන විට දෙස් විදෙස් දානපතීන්ගේ ආධාර මත ශක්තිමත් අරමුදලක් බවට පත්ව ඇත. අදාළ අරමුදලේ ප්‍රතිපාදන යොදාගනිමින් වකුගඩු රෝගීන්ගේ සුබසාධන කටයුතු, රෝගී ප්‍රතිකාර සඳහා අවශ්‍ය යටිතල පහසුම් සම්පාදනය, වකුගඩු රෝගය නිවාරණය සඳහා සහ රෝග මූලය හඳුනාගැනීම සම්බන්ධ ව සිදුකෙරෙන පර්යේෂණ සඳහා දායකත්වය දැක්වීම හා වකුගඩු රෝගී අවදානම් ප්‍රදේශ සඳහා පිරිසිදු පානීය ජලය සම්පාදනය ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.
මේ අතර ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 628ක් වැය කරමින් මහනුවර මහ රෝහලට අනුබද්ධිත ව ඉදිකරන ලද වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය පසුගියදා ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරුණු අතර රුපියල් මිලියන 89ක වියදමින් ඉදිකරමින් පවතින ගිරාඳුරුකෝට්ටේ වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය ද තව නොබෝ දිනකින් ජනතා අයිතියට පවරාදීමට නියමිතය.රුපියල් මිලියන 156ක වියදමින් කැලණිය විශ්වවිද්‍යාලයේ වකුගඩු රෝග පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානයක් ඉදිකරමින් පවතින අතර මොළය මියගිය රෝගින්ගේ වකුගඩු ඇතුළු අවයව වකුගඩු රෝගීන් ඇතුළු රෝගීන් වෙත බද්ධකිරීම සඳහා ගුවන් මඟින් ප්‍රවාහනයට අවශ්‍ය පහසුකම් සැලසීම ඇතුළු ව්‍යාපෘති ද මේ වන විට ක්‍රියාත්මකය.
රුපියල් මිලියන 800කට අධික පිරිවැයක් දරමින් වකුගඩු රෝගය ව්‍යාප්තව ඇති ප්‍රදේශ සඳහා ප්රතිආශ්රැතකරණ ජල පද්ධති 600 ක් පමණ මේ වන විට ස්ථාපිත කර ඇති අතර එහි 600වන ප්රතිආශ්රැතකරණ ජල පද්ධතිය “මෙත්සිරි සෙවණ” වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමට සමගාමිව අද පෙරවරුවේ ඉසුරුමුනිය රජමහා විහාරස්ථානයේ දී විවෘත කෙරේ.
ප්රතිආශ්රැතකරණ ජල පද්ධතිය සඳහා ප්‍රවේශයක් නොමැති පවුල් 7600ක් සඳහා ගෘහස්ත ජල පෙරන උපකරණ ලබාදීම, වැසි ජල ටැංකි ලබාදීම, නළ ජල පහසුම් ලබාදීම හා පවත්නා නළ පද්ධති දීර්ඝ කිරීම වැනි ව්‍යාපෘති මේ වන විට ජාතික වකුගඩු අරමුදලේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මකවන අතර වකුගඩු රෝගයෙන් මව/පියා අහිමි වූ පාසල් දරුවන් සඳහා මසකට රු 3000 බැගින් වූ ජනාධිපති අධ්‍යාපනික ශිෂ්‍යත්ව ලබාදීම, අඩු ආදායම්ලාභි වකුගඩු රෝගීන් සඳහා මසකට රු 5000 බැගින් වූ ජීවනාධාර මුදලක් ලබාදීම, අඩු ආදායම්ලාභී වකුගඩු රෝගි පවුල් සඳහා නිවාස ආධාර ලබාදීම ඇතුළු සුබසාධන වැඩසටහන් රැසක් ද ජාතික වකුගඩු අරමුදල යටතේ ක්‍රියාත්මකය.
1990 දශකයේ දී මෙරට ප්‍රථමයෙන් වාර්තා වූ මූලය හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය මේ වන විට දිවයිනේ දිස්ත්‍රික් රැසක ජනතාව පීඩාවට පත් කරමින් ආර්ථික, සමාජීය හා සෞඛ්‍ය ගැටලු රාශියක් මතුකරමින් පවතී. එවන් පසුබිමක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට පත්වීමත් සමග ම රජරට ප්‍රදේශයේ ගොවි ජනතාව වකුගඩු රෝගයෙන් බැටකන අයුරු අත්විඳි පුද්ගලයෙකු වශයෙන් වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීම සුවිශේෂී වගකීමක් සේ සලකා කටයුතු කරන ලදී. ඒ අනුව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය ස්ථාපිත කරමින් වකුගඩු රෝග නිවාරණය උදෙසා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට එතුමා මැදිහත් විය.