fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලීසිය පිළිබඳ ජනපතිගේ අපේක්ෂාව

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2019 08:59

පොලීසිය පිළිබඳ ජනපතිගේ අපේක්ෂාව

විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ පදවිය, තනතුර හා පක්ෂය කුමක් වුවත් ඒ කිසිවක් නොසළකා සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක කරන පොලිස් සේවාවක් බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොලීසියේ ඉදිරි ක්‍රියාකාරිත්වය හා අභියෝග පිළිබඳ ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු අංශ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සාකච්ඡාවට කැඳවා තිබූ අතර එක් එක් අංශවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ඔවුන් පැහැදිළි කිරීම් සිදු කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ තම දේශපාලන ජීවිතය තුළ වැරදිකරුවන් පිළිබඳ කතා කිරීමට තමා කිසිදු පොලිස් ස්ථානයකට දුරකථන ඇමතුම් ලබා දී නොමැති බවයි.

සමීප මහජන සේවාවක් සපයන අතරතුරම වැරදිකරුවන්ට එරෙහිව නිසි පියවර ගනිමින් රට සහ මහජනතාව වෙනුවෙන් පැවරී ඇති කාර්යභාරය නිසි ලෙස ඉටුකිරීමට පොලිස් සේවයේ සියලුදෙනා කැපවිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් එහි දියුණුවට කටයුතු කරනවා සේම දෛනිකව පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අවම කර ගැනීමට ද විද්‍යාත්මක පදනමකින් සකස් කෙරුණු විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවයි.

ඒ සඳහා විද්වත් සහ විශේෂඥ සහය ලබාගනිමින් නිසි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා පෙර පැමිණිලි පිළිබඳ අධ්‍යයනය කරමින් කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළ ඔස්සේ එම වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේ හැකියාව ද පැහැදිළි කළේය.

මේ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ දියුණු රටක ලක්ෂණය වන්නේ පොලිස් ස්ථාන හෝ සිරගෙවල් වැඩි කිරීම නොව වැරදි වළක්වා ගැනීම සඳහා ගතයුතු සමාජමය වෙනස්කම් පිළිබඳ අවධානය යොමු කිරීම බවයි.

පොලිස් නිලධාරින්ගේ බඳවාගැනීම්, ස්ථාන මාරුවීම් සහ සුබසාධන කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ප්‍රතිපත්තිමය තීන්දුවකින් තොරව පොලිස් ස්ථාන ස්ථාපිත කිරීම තුළින් මතුව ඇති භෞතික සම්පත් ගැටලුව පිළිබඳව මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු වූ අතර ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ඉදිරියේ දී පොලිස් ස්ථාන ස්ථාපිත කිරීමේ දී කමිටුවක් හරහා ඒ පිළිබඳ තීන්දු තීරණ ගැනීම ප්‍රතිපත්තිමය කරුණක් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසයි. එහිදී පළාතේ ජනගහණය, ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඇතුළු අනෙකුත් පසුබිම් සලකා බැලීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේ ය.

විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල පොලිස් ස්ථාන සඳහා දෙමළ භාෂාව කතා කළ හැකි පොලිස් නිලධාරින් බදවා ගැනීමට ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රගතිය විමසූ ජනාධිපතිතුමා එම කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට ද උපදෙස් දුන්නේය.

පරිගණක අපරාධ මැඩලීම සඳහා පොලිස් නිලධාරින් පුහුණු කිරීම ඇතුළු පොලිස් නිලධාරින්ගේ පුහුණු කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් වූ අතර උතුරු ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත පොලිස් අභ්‍යාස ආයතනයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ය.

මේ අතර කොළඹින් බැහැර ප්‍රදේශවල ප්‍රධාන රෝහල්වල පොලිස් නිලධාරින් සඳහා වෙනම වාට්ටු සංකීර්ණ ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

එමෙන්ම දුරබැහර සිට රාජකාරි සඳහා කොළඹට පැමිණෙන කාන්තා පොලිස් නිලධාරිනියන් ඇතුළු පොලිස් නිලධාරින්ගේ පහසුකම් වැඩිදියුණු කිරිමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද ජනාධිපතිතුමා නිලධාරින්ගේ අවධානය යොමු කළේය.

පොලිතින් තහනම ක්‍රියාත්මක කිරීම ඇතුළු පරිසර සංරක්ෂණ වැඩපිළිවෙලේ දී පොලිස් දෙපාර්තමේන්තුවට පැවරී ඇති වගකීම් පිළිබඳව ද ජනාධිපතිතුමා කරුණු පැහැදිළි කළ අතර මෑතක සිට දුරබැහැර බස් රථවල සිදුවන කප්පම් ලබා ගැනීම පිළිබඳ ලැබෙන වාර්තා සැලකිල්ලට ගත් ජනාධිපතිතුමා ඒ පිළිබඳව ද කඩිනමින් අවධානය යොමුකර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ තෘප්තිමත් මනසකින් යුතුව සිය මහජන සේවාව සැපයීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ පහළ ශ්‍රේණිවල නිලධාරින්ගේ සියලු ගැටලුවලට අදියරෙන් අදියර විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙලේ දී මෙන්ම අපරාධ මැඩලීමේ වැඩපිළිවෙලේ දී පොලිස් දෙපාර්තමේන්තුව ලබාදෙන සහය ඇගැයීමට ලක් කළ ජනාධිපතිතුමා පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතට පවරාගත් දා සිට තමා වෙත එම සියලුදෙනා ලබාදෙන සුවිශේෂී සහය පිළිබඳව සිය ස්තූතිය පිරිනැමීය.

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2019 08:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්