fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට

ITN News Editor
By ITN News Editor මාර්තු 1, 2019 13:31

මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට

මහවැලියට අයත් සියලු ප්‍රධාන වේලි හා ජලාශ පාලනය කිරීම සඳහා පොල්ගොල්ල ජලාශ පරිශ්‍රයේ ඉදිකෙරුණු නවීන මෙහෙයුම් මධ්‍යස්ථානය ඊයේ (28) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණට ලක් විය.

කාලගුණික හා දේශගුණික විපර්යාසවලට අනුරූපව නිශ්චිත අවස්ථාවේ, නිශ්චිත තොරතුරු මත පදනම්ව එම ජලාශ පිළිබඳ තීරණ ගැනීමට මෙම මධ්‍යස්ථානය මගින් වාරි ඉංජිනේරුවන්ට හැකියාව ලැබෙන අතර ගංවතුර පාලනය, ජල කළමනාකරණය ඇතුළු වාරි ඉංජිනේරු තාක්ෂණය සඳහා අවශ්‍ය තොරතුරු ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව මෙම මධ්‍යස්ථානය මඟින් උදා වෙයි.

පොල්ගොල්ල, වික්ටෝරියා, මාදුරුඔය, කොත්මලේ, රන්දෙණිගල, මොරගහකන්ද, කළුගඟ මෙන්ම ඉදිකෙරෙමින් පවතින උමා ඔය ජලාශය ඇතුළු මහවැලි ව්‍යාපාරය යටතේ ඇති සියලු ජලාශ සහ ප්‍රධාන වේලිවල ජල මෙහෙයුම් කටයුතු මෙම මධ්‍යස්ථානය මඟින් සිදුකිරීමට නියමිතය.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් මහවැලි අධිකාරිය විසින් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙන අතර දකුණු ආසියාව තුළ මෙවන් ජලාශ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරුණු පළමු අවස්ථාව ද මෙය වෙයි.

මෙරට ආර්ථිකය නව මගකට යොමු කරමින් ගොවි ජන ජීවිතය ශක්තිමත් කළ, අද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් නව ජවයක් ලබමින් තිබෙන මහවැලි ව්‍යාපාරය ආරම්භ වී පනස් වසරකට පිවිසීම ඊයේ දිනට සනිටුහන් කෙරිණි.

1970 පෙබරවාරි මස 28 වන දින එවකට අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතා සහ ඉඩම්, වාරිමාර්ග හා විදුලිබල අමාත්‍යවරයා වූ සී.පී. ද සිල්වා මහතා විසින් මහවැලි මහ සැලැස්ම ආරම්භ කිරීමේ මංගල පියවර තබමින් මෙරට වාරි සංස්කෘතියේ හැරවුම් ලක්ෂය වූ පොල්ගොල්ල බෝවතැන්න ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කළේය.

එදා පොල්ගොල්ලෙන් ඇරඹි යෝධ මහවැලියේ පංච මහා ජලාශ සංකල්පය යථාර්ථයක් බවට පත්වූයේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මොරගහකන්ද – කළුගඟ මහා ජලාශය නිම කර ජාතියට දායාද කිරීමත් සමග ය.

මහවැලි සංවර්ධන වැඩපිළිවෙළ විෂය භාර අමාත්‍ය, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත මේ වන විට අත මිට සරු නව ගොවි පරපුරක් බිහි කිරීමේ නව මාවතකට යොමුව තිබේ. ශ්‍රී ලංකාව සතු විශාලතම ස්වභාවික සම්පත් ජාලය අතර ප්‍රමුඛයා ලෙස මහවැලි ගඟ පත්කොට ඒ ඇසුරෙන් රටේ ගොවිතැන, විදුලිය, පානීය ජලය වැනි මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේ කඩිනම් ඉලක්කගත වැඩපිළිවෙළ මේ වන විට ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මකය.

මේ අතර මහවැලියේ පනස් වසරක පිවිසුම වෙනුවෙන් සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් ද ඊයේ (28) රාත්‍රියේ පොල්ගොල්ල ජලාශය අභියස දී පැවැත්වුණු අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද පිරිත් දේශනය ශ්‍රවණය කිරීමට එක් විය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

3

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 1, 2019 13:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්