ETI ආයතනයේ තැන්පත්කරුවන්ට කඩිනමින් සහන සැලසීමේ අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් කරුණු අවධාරණය කළේ ජාතික ආර්ථික සභාව රැස් වූ අවස්ථාවේදීයි.
ජාතික ආර්ථික සභාව ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ රැස් වුණා. එහිදී විශේෂ අවධානයක් යොමු වූයේ ඊටීඅයි හෙවත් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් මූල්‍ය සමාගමේ වත්කම් අලෙවි කිරීමේ ගනුදෙනුව පිළිබදවයි. එය සලකා බැලූ ජාතික ආර්ථික සභාව ඊට සිය නිර්දේශ ඉදිරිපත් කළා. 2015-2018 කාලය තුළ ආයතන 3 ක් ETI සමාගම මිලදී ගැනීමට කැමැත්ත පළකර තිබී ඇති අතර ඉන් ආයතන 2 ක් ශ්‍රී ලංකාවේ සමාගම් වූ අතර අනෙක් ආයතනය විදේශීය සමාගමක් වීම ජාතික ආර්ථික සභාවේ අවධානයට ලක්වුණා. එහිදී දේශීය සමාගම් සමග ප්‍රමාණවත් තරම් පාරදෘශ්‍යභාවයකින් කටයුතු කර තිබේ ද යන්න පිළිබදවත් එම ගනුදෙනුවේදී තැන්පත්කරුවන්ට ගෙවීම සදහා උපරිම මුදලක් ලබා ගැනීම සදහා නිසි කේවල් කිරීමක් සිදු කළේ ද යන්න අපහැදිලි බවත් ජාතික ආර්ථික සභාවේ සාකච්ඡාවට ලක්වූ කරුණු අතර වනවා.
එමෙන්ම ඉදිරිපත් වූ එම සමාගම් තුනටම ලංසු තැබීම සදහා සමාන අවස්ථාවන් ලබා දුන්නේ ද යන්න අවිනිශ්චිත බව ද නිරීක්ෂණය වූ කරුණක්. අදාළ තැන්පත්කරුවන්ට සහන සැලසීම සදහා එම සමාගමේ වත්කම් අලෙවි කිරීමේ ගනුදෙනුවක් ද මේ වන විට සිදුවන අතර එම ගනුදෙනුව පිළිබදව ද මෙහිදී විමර්ශනයට ලක් කෙරුණා. ඒ අනුව මේ වන විට ETI සමාගමේ තැන්පත්වලින් 20%ක් නැවත එම තැන්පත්කරුවන්ට ලබා දී ඇති බවත් තවත් 10%ක් නුදුරේදී ලබා දිය හැකි බවටත් මහ බැංකුව විශ්වාසය පළ කළා.
මේ අතර ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබදව ද ආර්ථික සභාවේ විශේෂ අවධානයට ලක්වූ කරුණක්. එම ණය ක්ෂේත්රය තුළ ජනතාව ඉතා පීඩාකාරී තත්ත්වයකට පත්ව සිටින බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. ජනාධිපතිතුමා තවදුරටත් පැහැදිලි කළේ එම ණය ලබාදීමේදී ආයතන ලියාපදිංචි කිරීමේ ක්රමවේදයක වැදගත්කමයි. මෑත කාලීනව ක්ෂුද්‍ර මූල්‍ය ණය මගින් පීඩාවට පත්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සදහා හදුන්වා දී තිබෙන ණය යෝජනා ක්රමයේ ප්‍රගතිය ද ජාතික ආර්ථික සභාවේ සමාලෝචනයට ලක්වුණා. මෙහිදී වැඩි අවධානයක් යොමු වූයේ ණය ලබා ගැනීම සදහා ජනතාවට සලසා ඇති පහසුකම් හා එහි කාර්යක්ෂමතාව තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාවයි. ක්ෂුද්‍ර මූල්‍ය ණය පොළී පහත දැමීම පිළිබද විශේෂ වැඩපිළිවෙළක් කෙරෙහි ද ජාතික ආර්ථික සභාවේ අවධානය යොමු කෙරුණා.
මෙහිදී අවධානයට ලක් වූ කරුණක් වූයේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දෙන ආයතන නියාමනය සදහා ආයතනයක් පිහිටුවීම පිළිබදවයි. ජනතාවට තම පෞද්ගලික කටයුතු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමේ වැඩපිළිවෙළක වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ඩිජිටල් තාක්ෂණය මගින් ණය පහසුකම් ලබා දීමේ නව ප්‍රවණතාවක් පවතින බැවින් එය නිසි පරිදි නියාමනය සදහා සුදුසු ක්‍රමවේදයක් පිළිබදව ද ජාතික ආර්ථික සභාව සිය නිර්දේශ ඉදිරිපත් කළා. මේ අතර මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකාවේ භෞතික සැලැස්ම ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණා. 2007 වසරෙන් පසුව එම සැලැස්ම යාවත්කාලීන කළ පළමු අවස්ථාව මෙයයි.