fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හද රිදවන ශෝකාන්තයක් තබා නික්මගිය සුරඟන…

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 16:49

හද රිදවන ශෝකාන්තයක් තබා නික්මගිය සුරඟන…

මිහිබට සුරඟන කවුදැයි ඇසුවහොත් ඔබට මතක්වෙන්නේ කවුද? සැබවින්ම ඇය අසමසමයි. හින්දි සිනමාවේ විශිෂ්ටම නිළිය CNN – IBN මඟින් කළ ඡන්ද විමසීමේ දී ඇය අබිසෙස් ලැබුවේ එනිසා යි.

බොලිවුඩයේ පළමු සුපිරි තාරකාව, එදා මෙදා තුර රුඟූ සිනමාපටයකට වැඩිම මුදලක් අය කළ බොලිවුඩ් නිළිය, දශක දෙකක් අංක එකේ තැන රැකගත් එකම තැනැත්තිය, විවිධ රංග විලාසයන් අසමසම ප්‍රතිභාවෙන් විචිත්‍ර කළ ප්‍රභාවන්තිය ඇයයි. යළි කෙදිනකවත් ඉන්දීය සිනමාවට ඇය වැන්නියක දායාද වන්නේ නැති බවට ඉතිහාසය සාක්ෂි දරන්නේය.

ජීවිතයේ පනස් හතරවැනි වියේදී නොසිතූ මොහොතක ශ්‍රී දිවියෙන් සමුගත්තා. ඒ හරියටම අදින් වසරකට පෙරදී යි. එනම් 2018 වසරේ පෙබරවාරි 24 වැනිදා යි.එනම් අදින් හරියටම වසරකට පෙරයි.නමුත් තවමත් එදා මෙන්ම සිනමාපටයක ශෝකාන්තයක් මෙන් රසිකයන්ගේ හද රිදවන ඇය පිළිබඳ මතකයන් බොහෝ යි.

ශ්‍රී දේවි ඩුබායි බලා යන්නේ සිය ඥති පුත්‍රයා වූ මොහිත් මර්වාගේ විවාහ මංගලෝත්සවයට සහභාගී වෙන්නයි. මේ සඳහා ශ්‍රී දේවිගේ සැමියා වන බොනී කපූර් සහ ඔවුන්ගේ බාල දැරිය ද ඇය සමඟ ඩුබායි බලා යනවා. ශ්‍රී දේවිගේ වැඩිමහලු දියණිය වූ ජන්වි කපූර් මේ ගමනට එකතු නොවූ අතර එයට හේතු වූයේ ඇගේ මුල්ම රංගනය ඇතුළත් චිත්‍රපටය ප්‍රදර්ශනයට සූදානමින් පැවතීම යි. විවාහ මංගල්‍යයෙන් පසු ඩුබායි නගරයේ පදිංචිව සිටින තම සොයුරිය වූ ශ්‍රී ලතා සමඟ දින කිහිපයක්‌ ගත කිරීම ශ්‍රී දේවිගේ අදහස වුණා. මේ අනුව බොනී කපූර් සහ බාල දියණිය ආපසු ඉන්දියාව බලා ගියා.

මේ සියල්ල සිදුවන්නේ 2018 පෙබරවාරි 20- 22 අතර දිනවල යි. ඒ අතර පෙබරවාරි 24 වැනිදා සවස යෙදුණු සාදයකට සහභාගී වීම සඳහා සූදානම් වීම පිණිස ශ්‍රී දේවි ආපසු හෝටලයට පැමිණියා. ඒ අතර කිසිදු පූර්ව දැන්වීමකින් තොරව, ශ්‍රී දේවි පුදුමයට පත් කරනු පිණිසම බොනී කපූර් ආපසු ඩුබායි බලා එනවා. ඔහු සවස 5.30ට ශ්‍රී දේවිගේ හෝටල් කාමරයට ඇතුළු වෙයි. එහි දී ශ්‍රී දේවිගේ මළ සිරුර දුටු බව    ඔහු කියයි.

එහෙත් හෝටල් සේවකයන් කිව්වේ වෙනස්‌ කතාවක්. ඔවුන් කියන පරිදි රාත්‍රි 10.30 ට පමණ හෝටල් කාමරය පිරිසිදු කිරීම සඳහා එහි ගිය නමුදු ශ්‍රී දේවි කාමරයේ දොර ඇර නැහැ. එහිදී කාමරයේ දොර කඩා එහි ඇතුළු වූ හෝටල් සේවකයන් හට නාන කාමරයේ නාන බේසම තුළ තිබූ ශ්‍රීදේවිගේ මළ සිරුර හමුවී තිබුණා.

එසේම මියගිය ඇගේ හිසේ තුවාලයක්‌ ද විය. මරණ පරීක්‍ෂණයේදී හෙළි වූයේ ශ්‍රීදේවිගේ ආමාශයේ මත්පැන් තිබූ බවයි. ඇය වයින් හෝ විස්‌කි ස්‌වල්පයක්‌ පානය කරන්නට ඇති බව නිගමනය වුණා.

එසේ නම්, තමා සවස 5.30 ට හෝටල් කාමරයට යන විට ශ්‍රී දේවිගේ මළසිරුර එහි වැටී තිබූ බව බොනී කපූර් කීවේ ඇයි? සිද්ධිය සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය පැය තුනහමාරකට වඩා බොනී කපූර්ගෙන් ප්‍රශ්න කර තිබුණා.

තවත් පිරිසක් කියන පරිදි ශ්‍රී දේවි කවදාවත් මත්පැන් පානය කරන්නේ නැත. ඔවුන් කියන්නේ කිසිවකු විසින් බලහත්කාරයෙන් මත්පැන් පානය කරවනු ලැබ නාන බේසමට වතුර පුරවා ඇය එහි ඔබාගෙන ඉන්නට ඇති බවයි. හෝටල් කාමරයක නාන බේසමක්‌ තුළ ගිලී කෙනකු මිය යැම ඉතාම දුර්ලභ සිද්ධියක්‌ බවත් ඔවුන් කියන්නේය.

ශ්‍රී දේවි අයියප්පන්ගේ මරණය මහත්සේ මත භේදයට තුඩු දී තිබුණා. ඇය ලංකාවේ උපන් කෙනෙකු බවට කටකතාවක්‌ තමිල්නාඩුව තුළ පවතී. එහෙත් ඇගේ උපත රෙජිස්‌ට්‍රර් වී ඇත්තේ තමිල්නාඩුවේ ය. ඇය මුල්වරට චිත්‍රපටයක රඟපාන්නේ අවුරුදු හතරේදී ස්‌කන්ධ කුමාර් දෙවියන්ගේ (කතරගම දෙවියන්) කුමාර කාලය නිරූපණය කරමිනුයි. ඇගේ වාසගම වූ අයියප්පන් නම රැගත් බලගතු දෙවියෙක්‌ ඉන්දියාවේ වෙසෙන බවට පැවසෙයි.

කලාකරුවන්ට දේවත්වයෙන් සලකන සමාජයක්‌ ඇති රටක්‌  වුවද ඉන්දියාව නළුවකුට හෝ නිළියකට රාජ්‍ය ගෞරව සහිත අවමංගල උත්සවයක්‌ ලබාදෙන්නේ ඉතා කලාතුරකින්. එයට හේතුව ඉන්දියාවේ සිනමා කර්මාන්තය ඉන්දියාවේ දේශපාලන කර්මාන්තයට වඩා බෙහෙවින් පුළුල් වීමයි. ඒ අනුව මැරෙන මැරෙන නළුවාට නිළියට හෝ කලාකාරයාට රාජ්‍ය ගෞරව දෙන්නට ගියොත් ඒ කටයුත්තෙහිම යෙදී සිටිනවා මිස වෙන වැඩක්‌ කරන්නට ඉඩක්‌ ඉන්දියන් ආණ්‌ඩුවට ඉතිරි වන්නේම නැත. ඒ බැවින් ඉතා වැදගත් ප්‍රතිපත්තිමය තීන්දුවක්‌ ගත් ඉන්දියානු ප්‍රාන්ත ආණ්‌ඩු සමූහය රටට සේවය කළ දේශපාලනඥයන්ට සහ යුද වීරයන් පමණක්‌ මිය යන අවස්‌ථාවලදී රාජ්‍ය ගෞරව සහිත අවමඟුල් උළෙල දෙන්නට පටන් ගත්තේය.

නමුත් ඩුබායි නගරයේ දී නැසී ගිය ශ්‍රී දේවි අයියප්පන්ගේ අවමඟුලේදී මේ නීතිය කැඩීමට ඇය පදිංචිව සිටි ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ආණ්‌ඩුවට සිදු වුණා. ඇයට රාජ්‍ය ගෞරව සහිත අවමංගල උළෙලක්‌ හිමි වුණා. ඉන්දියානු ජාතික කොඩියෙන් වසන ලද ශ්‍රී දේවියගේ දේහය සුදුයකඩ රාමු යෙදූ වීදුරු පෙට්‌ටියක බහා අවමඟුල් පෙරහැරේ රැගෙන ගියා.

අවමංගල පෙරහර සැතපුම් පහක්‌ පමණ දිගු වුණා. ඒ අතර සිටි බොහෝ ඉන්දියානුවන් දිගින් දිගටම කියා සිටියේ ශ්‍රී දේවිගේ මරණය හදිසි අනතුරක්‌ නොව මිනී මැරුමක්‌ බවයි.

ශ්‍රී දේවිගේ දේහය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි අගනුවර පිහිටි විලේපාලේ සේවා සමාඡ් ආදාහනාගාරයට ගෙන යන තුරුත්, දේහයට ගිනි තබන තුරුත් ඔවුන්  කීවුවේ මේ මිනීමැරුම ගැන පරීක්‍ෂණ පැවැත්විය යුතු බවයි.

ලොවට අභිරහසක් ඉතිරි කරමින්  හිසේ තුවාලයක්‌ද සහිත ශ්‍රීදේවිගේ මළ සිරුර 2018 02 24 වැනිදා සවස ඩුබායි නගරයේ ජුමෙයිරා එමිරේට්‌ස්‌ ටවර් හෝටල් ගොඩනැඟිල්ලේ අංක 514 කාමරයෙන් හමුවුණා වගේම මේ සුරඟන දැන් මෙලොවට අහිමි වී ගිහින් ඉවරයි..ඒ වගේම අපි හොදින්ම දන්නා කරුණක් වන්නේ ඇය වැනි සඳවතියක් හින්දි සිනමාවට යළි නොපායන බවයි…

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 16:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්