කන්කසන්තුරේ හා තලෙයිමන්නාරම් සිට දකුණු ඉන්දියාවේ වරාය වෙත මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා ඇරඹීමේ මූලික කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා.
දකුණු ඉන්දියාවේ ප්‍රධාන වරාය වෙත කන්කසන්තුරේ වරායේ හා තලෙයිමන්නාරමේ ජැටියේ සිට ප්‍රවාහන සේවා ආරම්භ කෙරෙන්නේ දෙරටේ ජනතාවට පහසුකම් රැසක් සලසා දෙමින්. මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතින බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පවසනවා. කන්කසන්තරේ වරායේ නවීකරණ කටයුතු ආරම්භ වී ඇති අතර ඊට වැය කෙරෙන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 45 යි දශම දෙකයි හතක්. ඉන්දීය ණය යෝජනා ක්‍රම යටතේ මෙම ප්‍රතිසංස්කරණ සිදුකෙරෙනවා. මේ අතර තලෙයිමන්නාරම් ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුම් තවත් දින කිහිපයකින් අවසන් කරන බවයි වරාය අධිකාරිය පවසන්නේ. මගී ප්‍රවාහන නාවික සේවාවන් ආරම්භයත් සමග ඉන්දු ශ්‍රී ලංකා දුම්රිය සේවා අතර ඒකාබද්ධ මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට නියමිතයි. මීට වසර ගණනාවකට පෙර ඒ අයුරින් ඒකාබද්ධ දුම්රිය සේවා පැවැත්වුණා. කොළඹ කොටුවේ සිට චෙන්නායි නුවර දක්වා එක් ප්‍රවේශ පත්‍රයකින් ගමන් කිරීමේ පහසුකම් දෙරටේ මගීන්ට සලසා දී තිබුණා. නව සේවාවන් ආරම්භ කිරීමත් සමග දඹදිව වන්දනාවට එක්වන මෙරට සැදැහැවතුන්ට අඩු වියදමකින් එම කටයුතු සිදුකර ගැනීමට පහසුකම් සැලසෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළට සමගාමීව කන්කසන්තුරේ ප්‍රදේශයේ සංචාරක කලාපයක් හා කර්මාන්ත කලාපයක් ද ආරම්භ කෙරෙනු ඇති. තලෙයිමන්නාරම් ජැටිය ආශ්‍රිතව ද නව සංචාරක හෝටල් හා ආපන ශාලා රැසක් ඉදිකෙරෙන අතර භාණ්ඩ ගබඩා හා ගුදම් ද එම ව්‍යාපෘතියට අයත් බව වරාය අධිකාරිය පවසනවා.