fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවම් පුරපසලොස්වක පොහොය දිනය අදයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 08:48

නවම් පුරපසලොස්වක පොහොය දිනය අදයි

සම්බුද්ධ ශාසනයේ උතුම් පූජනීය සිදුවීම් රැසක් සිදුවූ නවම් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. ධර්ම සේනාධිපති සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ අග්‍රශ්‍රාවක තනතුරු ලැබීම් ඇතුළු වැදගත් සිදුවීම් රැසක් අද දිනයේ සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ සදහන් වන්නේ.

රජග‍ෙනුවර වේලුවනාරාමයේදී බුද්ධ ශාසනයෙහි ප්‍රථම සංඝ සන්නිපාතය ද සිදුවූයේ අද වැනි නවම් පුන් පොහෝ දිනකදීයි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළේද අද වැනි දිනෙක බව ඉතිහාසයේ සදහන් වනවා. එමෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර ආයු සංස්කාරය කළේත් නවම් පුන් පොහෝ දිනකදීයි.  සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට දකුණත් සවු සහ වමත් සවු යන ශාසනික තනතුරු පිරිනැමීම ද නවම් පොහෝ  දිනකදී සිදුව තිබෙනවා. නවම් පුන් පොහොය වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම දාන ශීල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

ස්වාධීන රූපවාහිනිය සෑම පුන් පොහෝ දිනකම ගෙන එන සවනක් රැස් සජීව වැඩසටහන මෙවර ගෙන එනු ලබන්නේ පයාගල පොතුවිල වෙහෙරගලකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේ සිටයි. පූජ්‍ය මංගලගම මෙත්තානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම කටයුතු සංවිධාන කර තිබෙනවා. ප්‍රධාන ධර්ම දේශනය පැවැත්වෙන්නේ පූජ්‍ය පිඹුරේ සෝමරතන ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන්. අද පස්වරුවේ සිදු කෙරෙන තෙසැත්තෑඥාන පූජාව සජීවීව ITN ඔස්සේ ගෙන ඒමටයි කටයුතු සූදානම් කර තිබෙන්නේ.

ITN FM මූලිකත්වයෙන් සෑම පොහෝ දිනකම ගෙනඑනු ලබන ශාසනාලෝක වැඩසටහන ද පැවැත්වෙන්නේ පයාගල පොතුවිල වෙහෙරගලකන්ද රාජමහා විහාරස්ථානයේදීයි. සාමනේර භික්ෂූන් වහන්සේ දස නමක සදහා දහම් පොත් කට්ටල පූජා කිරීම හා උන්වහන්සේගේ  දෙමව්පියන් ඇගයීම ද මෙහිදී සිදු කෙරුණා.

මේ අතර සෑම පොහෝ දිනකම පවත්වනු ලබන සදහම් යාත්‍රා ධර්ම දේශනය අද පැවැත්වුණේ පානදුර පිංවත්ත සද්ධර්මාකර විද්‍යාර්ථ පිරිවෙනේදී. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන්. පූජ්‍ය මීරගහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේයි මෙහි ප්‍රධාන ධර්ම දේශනය සිදු කළේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 08:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්