fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන ප්‍රදානය හෙට…

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 18:09

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන ප්‍රදානය හෙට…

 2019 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙළ පෙබරවාරි 12 දින ( හෙට) ප.ව. 6.00ට නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට නියමිතයි.

නිවාස හා ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි සම්මාන උළෙල පැවැත්වෙන්නේ.

ශ්‍රී ලාංකේය ගුවන් විදුලිය මේ වන විට අනූ තුන් හැවිරිදි වියෙහි වෙයි. 1925 දෙසැමිබර් 16 වැනිදා නිල  වශයෙන් ආරම්භ කෙරුණු එය දශක නමයක කාලය තුළ මේ රටට සිදුකොට ඇති සේවය සුවිශේෂ යි. බැලූ බැල්මට එබඳු සුබවාදී ස්වරූපයක් විද්‍යමාන නොවුන ද ලාංකේය ගුවන් විදුලි ඉතිහාසය විචාරශීලීව ගවේශනය කිරීමේදී පසක් කෙරෙනුයේ මෙකී සන්නිවේදන මාධ්‍ය විසින් මේ රටට ඉටුකර ඇති විශිෂ්ට සේවාවේ මහිමයයි.

ගුවන් විදුලිය සඳහාම වෙන් කෙරුණු රාජ්‍ය සම්මාන උලෙළක් ප්‍රථම වරට පැවැත්වූයේ 2017 පෙබරවාරි 13 වැනිදා ය. ඒ ලෝක ගුවන්විදුලි දින 5 වැනි දිනට සමගාමීව යි. ලාංකේය ගුවන් විදුලි ඉතිහාසය තුළ සිදු කෙරුණු සුවිසල්ම මාධ්‍ය මංගල්‍ය එය බව ගුවන් විදුලි රාජ්‍ය උපදේශක සභාවේ සභාපති මහාචාර්ය සේන නානායක්කාර පවසයි.

නූතන පාරිභෝගික ප්‍රවාහය තුළ උඩු යටිකුරු වෙමින් පවත්නා මාධ්‍ය ප්‍රවාහයෙහි යහපත් ප්‍රවණතා ඵල කරන මාධ්‍යවේදීන්ගේ දක්ෂතා ඇගයීමයි. ප්‍රශස්ත නිර්මාණශීල්පීන් උදෙසා සම්මාන පිරිනැමෙන්නේ ඒ අනුවයි. දෙවැන්න අතීතයේ සිට අතිදුෂ්කර කාලයක් එකී මාධ්‍ය වෙනුවෙන් කැපවූ පුරෝගාමී විශීෂ්ටයින් ගෞරව බහුමානයෙන් ජන සම්බාවනාවට ලක්කිරීමයි. මාධ්‍ය ජීවිතයේ ස්වකීය යුග කාර්ය ඉටු කළ නන්දා ජයමාන්න, අරුන්දතී ශ්‍රී රංගනාදන් හා නිහාල් භාරතී යන පුරෝගාමීන් උදෙසා විශිෂ්ට ප්‍රතිභා ප්‍රණාම සම්මාන පිදෙනුයේ එබැවිනුයි.

යහපත් ගුවන් විදුලි මාධ්‍යකරණයක අනාගත දැක්ම හුදු මායාවක් නොවී, යථාර්තවත් සංසිද්ධියක් බවට පත්කර ගැනීම ඉන් අපේක්ෂික බව සේන නානායක්කාරයන් සඳහන් කරනවා. රාජ්‍ය හා පෞද්ගලික ගුවන් විදුලි නාලිකා රාශියක් එහිදී දැක්වූ සහෝදරාත්මක සහයෝගය අතිශයෙන් ප්‍රශන්සනාක්මක බව ද සේන නානායක්කාර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා කලා මණ්ඩලයත්, ගුවන් විදුලි රාජ්‍ය උපදේශක සභාව මෙන්ම ජූරි මණ්ඩලයක් මෙම සම්මාන උළෙලේ විනිසුරු මණ්ඩලය ලෙස කටයුතු කරනවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 18:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්