මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් කණ්ඩායම් 10ක් පත් කර ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම තිබෙන රියදුරු පාසල් අධීක්ෂණය කිරීමට දැනුම් දී තිබේ.
ලියාපදිංචි නොකළ රියදුරු පාසල්වලට එකවර නීතීමය ක්‍රියා මාර්ග ගැනීමක් සිදු නොකරන නමුත් බරපතළ ගැටලුකාරී තත්ත්වයන් දක්නට ලැබේ නම් ඉක්මන් නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කරයි.
එහි දී ප්‍රථමයෙන්ම රියදුරු පාසල් ලියාපදිංචි නොකිරීම සිදු වූයේ කුමක් නිසා ද යන්න විමර්ශනය කර අඩුපාඩු සම්පුර්ණ කර ගැනීම සඳහා යම් කාලසීමාවක් ලබා දෙයි. දෙවන පරීක්ෂණයේ දී ඔවුන්ට ලබා දුන් කාල සීමාව තුළ දී අඩුපාඩු නිසි පරිදි සකසාගෙන නොමැති නම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම සිදු කරනු ඇතැයි චන්ද්‍රසිරි මහතා පැවසීය.
රියදුරු පාසලක් පවත්වාගෙන යෑමේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කරනු ලබන සෑම තැනැත්තකුම අවුරුදු 25 සම්පූර්ණ වූ ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතු අතර රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනයක් තුළ රියදුරු පුහුණු කිරීමේ කාර්යයේ යෙදී සිටින තැනැත්තකු හැර, එවැනි ආයතනයක සේවා නියුක්තිකයකු නොවීමද අනිවාර්යවන බව ජගත් චන්ද්‍රසිරි මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.