ඇමති මංගලගෙන් පොලිස්පතිට ඉල්ලීමක්
Related Articles
ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මාකදුරේ මධුෂ් ඇතුලු පිරිසේ ඇමති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සිටින්නේ යැයි කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන්නැයි අමාත්‍ය මංගල සමරවීර මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විපක්ෂ කණ්ඩායම් හා ඇතැම් මාධ්‍ය තමාට මඩ ගැසීමට මේ හරහා උත්සාහ දරන බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.
මාකඳුරේ මධුෂ් නමැති ප්‍රධාන පෙළේ අපරාධකරු සමග පිරිසක් ඩුබායි හිදි අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය රට තුළ ආන්දෝලනයක් ඇති කළා. එම පිරිස අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වන තමාගේ මාධ්‍ය ලේකම්වරයෙකු සිටින බවටත් ඔහුට රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා දී ඇති බවටත් සමාජ මාධ්‍ය කිහිපයක තොරතුරු වාර්තා වී තිබූ බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ. එම වාර්තා මුළුමණින්ම පදනම් විරහිත බව පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී තමන් අවධාරණය කළ බව ද අමාත්‍යවරයා පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ සඳහන්. එසේ තිබියදී ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් අදහස් පළකර තිබුණා. පෞද්ගලික මාධ්‍ය හරහා ඊට පුළුල් ප්‍රචාරයක් ද ලබා දී තිබූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා පවසා තිබුණේ පාතාල නායක මධුෂ් සමග ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය හිමි පුද්ගලයා අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ලේකම්වරයෙකු බවයි. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ද සඳහන් කර තිබුණේ අදාළ රාජ්‍ය තාන්ත්‍රික හැඳුනුම්පත නිකුත් කිරීම සිදුව ඇත්තේ මුදල් අමාත්‍යවරයා සමග සිටි ලේකම්වරයෙකු හරහා බවයි. මහා මත්කුඩු ජාවාරම මෙහෙයවන පුද්ගලයින් සිටින්නේ මුදල් අමාත්‍යවරයාගේ ඔඩොක්කුවේ යැයි ද ඩිලාන් පෙරේරා මහතා එම මාධ්‍ය හමුවේදී පවසා තිබුණා. මෙවැනි අභූත චෝදනා කරමින් තිස් වසරකට වැඩි තම පාර්ලිමේන්තු ජීවිතයේ කීර්තිනාමයට හිතාමතා හානි පැමිණවීම හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැබෑ පුද්ගලයින් බේරා ගැනීම මෙවැනි ප්‍රකාශවල සැබෑ අරමුණ බවයි අමාත්‍යවරයා එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
එහෙයින් පළ වී ඇති මෙම වාර්තා සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකර සත්‍ය අසත්‍ය බව රටටත් ජනතාවටත් හෙළිදරව් කිරීමට කටයුතු කරන මෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලීම් කර තිබෙනවා. මාකඳුරේ මධුෂ් නමැත්තා සමග සබඳතා පවත්වා ඇති දේශපාලනඥයින් පිළිබඳවත් ඔහුට රටින් පැනයාමට ගුවන්තොටුපොළ කරා නිරුපද්‍රිතව රැගෙන ගිය මහජන නියෝජිතයින් කවුරුන් ද යන්න පිළිබඳවත් මෙහිදී විමර්ශනය කරන ලෙස මෙම ලිපියෙන් විශේෂයෙන් ඉල්ලීම් කර තිබෙනවා. ඉහත කාරණා සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශ ලබා දුන් මහජන නියෝජිතයින් හා වග විභාගයකින් තොරව ඒවා ප්‍රචාරය කළ මාධ්‍ය ආයතනවල වගකිව යුත්තන්ගෙන් මීට අදාළ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලීම් කර තිබෙනවා. මෙම චෝදනා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළ පුද්ගලයින්ට හා ඒවා වගකීම් විරහිතව ප්‍රචාරය කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව ද නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.