භෝගවලට හානි කළ හාවුන්ගේ තර්ජනයකට ලක්වුණු ඕස්ට්‍රේලියානු ජාතිකයන් එම උවදුරට සාර්ථකව මුහුණ දී තිබෙනවා. ඒ සඳහා ඉදිකර ඇති ලොව දිගම වැට ලෙස සලකන්නේ ඩින්ගෝ නැමති වැටකුයි.
බ්‍රිතාන්‍යයන් විසින් ඕස්ට්‍රේලියාව සොයාගත්තායින් පස්සේ ආහාර විදිහට භාවිත කරන්න හාවුන් යුරෝපයේ සිට රැගෙනවිත් තිබෙනවා. එම හාවුන් ස්වල්ප දෙනා ඔවුනට අභියෝගයක් වන තරම විලෝපිකයන් නොමැති නිසා ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වුණා.
මේ නිසා 1860 ගණන් වන විට හාවුන් මිලියන 600ක් පමණ මුළු ඕස්ට්‍රේලියාව පුරා පැතිරී එවකට පදිංචිකරුවන්ගේ සියලු භෝග වගාවන්ට හානි කරමින් ජීවත් වී තිබෙනවා. මෙයට පිළියමක් විදිහට බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය (ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය) මගින් වසර 1907 වනවිට කිලෝමීටර් 2000ක් පමණ දිග වැටක් සාදා තිබුණේ බටහිර ඕස්ට්‍රේලියාවේ වගාබිම් හාවුන්ගෙන් බේරාගැනීමටයි.
හාවුන්ගේ පැමිණීම නැවැත්වීම සඳහා සාමාන්‍ය වැටකට වඩා ප්‍රබල පිළියමක් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය වෙත අවශ්‍ය වී තිබුණේ හාවුන්ගෙන් පමණක් නොව ඩින්ගෝ නැමති සතුන්ගෙන්ද ඔවුන්ට එල්ල වී තිබුණ බලපෑම් නිසායි. ඩින්ගෝ යනු කැලෑ සුනඛයන් වර්ගයක් වන අතර කාන්තාර සහ කැලෑ පෙදෙස්වල ප්‍රධාන විලෝපිකයා ලෙසින් පැතිරී ඇති මොවුන් ගොවීන්ගේ බැටළුවන් ඉතා විශාල වශයෙන් දඩයම් කිරීම නිසා ඩින්ගෝ සතුන්ගෙන් තම බැටළුවන් ආරක්ෂා කර ගැනීමට ද වැටක් ඉදිකිරීමට අවශ්‍ය වී තිබෙනවා.
මේ අනුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය, නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය හා දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය එක්ව එම ප්‍රාන්තවල ඉදිකර තිබෙන හා වැට කිහිපයක් උපයෝගී කරගෙන සැතපුම් 3437ක් එනම් කිලෝමීටර් 5531ක් දිගැති ලොව දිගම වැට ඉදි කර තිබෙනවා. මෙමගින් මෙල්බන් හා සිඩ්නි ඇතුළු ඕස්ට්‍රේලියාව හොඳම භූමි ප්‍රමාණය ඩින්ගෝ සතුන්ගෙන් ආරක්ෂා කරගැනීමට හැකි වී තිබෙනවා.
පොළවෙන් යටට අඩියක් හා පොළාව මට්ටමෙන් උඩට අඩි 6ක් වන මෙම වැට ලී කණු හා කම්බි දැල් භාවිත කරමින් නිර්මාණය කර තිබෙනවා. මෙහි සමහර ස්ථාන විදුලි වැටක් ලෙසින්ද ක්‍රියාත්මක කෙරෙනවා. රාත්‍රී කාලයට රතු හා සුදු ලාම්පු මඟින් ආලෝකමත් වන මෙහි මුර සංචාරයේ යෙදීම සඳහා පූර්ණ කාලීන සේවකයන් 23 දෙනකු සේවය කරන අතර වාර්ෂිකව රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් මෙහි නඩත්තුව සඳහා වන බවටයි වාර්තා වෙන්නේ.
මෙය සියයට සියයක්ම සාර්ථක නොවන්නේ සමහර සතුන් විසින් වැටට හානි කර තිබෙන ස්ථානවලින් ඩින්ගෝ සතුන් පැමිණෙන නිසයි. නමුත් මෙම වැට නිසා පෙරට වඩා විශාල ලෙසින් බැටළු ගොවිපළ රැසක් ආරක්ෂා වී තිබෙනවා. ඕස්ට්‍රේලියාව තුළ දඩාවතේ යන පූසන්ද මහත් හිසරදයක් බවට පත් වී තිබෙන්නේ ඔවුන් ආවේණික සතුන්ව ගොදුරු කරගන්නා නිසයි.
මීට අමතරව අතීතයේ ඕස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයන් විසින් රැගෙන ආ තවත් ආක්රමණික සත්ත්ව විශේෂයක් ලෙසින් ඔටුවන්ව ද හැඳින්වෙන අතර ලොව විශාලම ඔටු රංචුව ජීවත් වන්නේ ද මෙම ඩින්ගෝ වැටට එහායින් තිබෙන විශාල කාන්තාර ප්‍රදේශය තුළ බවටයි වාර්තා වෙන්නේ.
(අන්තර්ජාලය ඇසුරින්)
[ot-video type=”youtube” url=”https://youtu.be/n0vA4Anc_Ys”]