යම් අයෙකුට තමාට වඩාත් ගැළපෙන සහකාරියක හෝ සහකරුවකු සොයාගැනීම මේ ලෝකයේ ඇති අමාරුම කාර්යන් අතරින් එකක්. ජීවිතයේ බොහෝ වැරදි අපට නිවැරදි කරගන්න පුළුවන්. නමුත් වැරදි ප්‍රේම සබඳතාවක් කවදාවත් නිවැරදි කරගන්න බැහැ. ආදරය මත පමණක් තම සතුට රදවා තබාගැනීම සුදුසු දෙයක් නෙවෙයි. මොකද ආදරය වෙනස් වුව හොත් ඔබට හිත හදා ගැනීමට වෙනත් ක්‍රමයක් නැතිවෙන නිසා.
ආදරය කෙනෙකුට සුන්දර වීමටත් අයෙකුට අසුන්දර වීමටත් හේතුව කුමක්ද? එය ආදරයේ වරදක් හෝ අාදරවන්තයගේ වරදක් පමණක් වෙන්න පුලුවන්ද? මේ ලෝකයේ අනෙකුත් සෑම දෙයක් මෙන්ම ආදරයද ස්වබාදහමට අයත් දෙයක්. ඒ නිසා ඒ ගැන නිවැරදි අවබෝධයකින් තොරව ආදරය කරන්නට යාම එක අතකින් අනුවණකමක්. අනෙක් අතින් තමාගේ ජීවිතය උකසට තැබීමක්.
ආදරය යනු සැබවින්ම ඉතා සුන්දර වූද එකිනෙක තදින් ආකර්ෂණය කරන්නා වූ ද දෙයක්. ආදරය ලබන්නට අකමැති කෙනෙක් නැත. මිනිසා නමැති සත්වයා අන් කවරෙකුටත් වඩා ආදරේ කරන්නටත් ආදරේ ලබන්නටත් කැමතියි. ඒ වෙනුවෙන් මිනිසාට කළ නොහැකි දෙයක් නොමැත. යොවුන් ආදරය ඒ අතරින් විශේෂ දෙයක්. යොවුන් වියට එළඹෙන විට වසන්ත කාලය උදාවෙන්නේ වෙන කවරදාකටවත් වඩා ප්‍රේමනීය හැගීම් හදවතට වඩාත් සමීප වෙමිනුයි. එවිට ඔවුන් තමාට හිමි ආදරය සොයායන්නේ මිටින් මුදාහළ කුරුල්ලන් වගෙයි. එසේ ඉගිළ ගිහින් ප්‍රේම ලෝකයේ අතරමන් වන්නේ යළිත් සැබෑ ලෝකයට පැමිණීමේ බලාපොරොත්තුවද අත්හැර දමමිනුයි.
සැබවින්ම ආදරය කිරීම වරදක් නැත. එය නරක දෙයක් වන්නේ එමගින් තමාට හෝ අන් අයට අයහපතක් වන්නේ නම් පමණයි. ආදරය ගැන කොතරම් අර්ථකතන තියනවද? කොතරම් කතා පොත් කවි ගී තියනවද? එමගින් වැටහෙන්නේ එය කොයිතරම් මිනිස්සුන්ට වැදගත්ද යන්න නොවේද?
ප්‍රේම සබදතාවක් කියන්නේ දෙදෙනෙකු අතර ඇතිවන හුදු සබධතාවක් පමණක්ම නොවෙයි. එය ඔවුනවුන්ගේ මවුපියන්ට ඥාති මිත්‍රයන්ට බලපෑමක් අැති කරවන්නක්. එපමණක් නොව ඉන් පසුව ඔවුන්ට ලැබෙන දරුවන් සහ ඔවුන් ඉදිරියේ ජිවත්වන සමාජය ආදී සෑම දෙයක්ම එම සබදතා අනුව වෙනස් වෙනවා. එබැවින් ප්‍රේම සබදතාවක් ඇති කර ගැනීමට පෙර සිතිය යුතු බොහෝ දේ තිබෙනවා. ඒ සදහා ඔවුන්ට පුළුල් අවබෝධයක් සහ මුහුකුරා ගිය බුද්ධියක් තිබිය යුතුයි. ආදරය ඉගෙන ගැනීමට යම් ගුරුවරයකුට හොඳ පන්තියකට යාමෙන් කඏ නොහැකියි. එය ඉගෙනගත යුත්තේ ජීවිතයේ අද්දැකීම් මගිනුයි. එබැවින් ප්‍රේමවන්තයකු වීමට පළමුව ඔහු හෝ ඇය වැඩිහිටියකු විය යුතුය. එබැවින් ප්‍රේම සබදතා පැවැත්වීම “වැඩිහිටියන්ට පමණයි” ලේබලය යටතේ පවතුනාට වරදක් නැත.
යම් අයකුට තමාට වඩාත් ගැළපෙන පැතුම් ඇති පුද්ගලයකු සොයාගැනීම මේ ලෝකයේ ඇති අමාරුම කාර්යන්වලින් එකක්. එහිදී ඔබට අත්හදා බැලීම් කිරීමට ඇති ඉඩකඩ බෙහෙවින්ම අඩුයි. එය බුද්ධියෙන්ම කළ යුත්තක්. එසේම එය කිසි ලෙසකින් හෝ වරද්දා ගත යුතු දෙයක්ද නොවෙයි. ජිවිතයේ බොහෝ වැරදි අපට පසුව නිවැරදි කරගන්න පුළුවන් එත් වැරදි ප්‍රේම සබදතාවක් කිසි දිනක නිවැරදි කරගන්න බැහැ.
ඇතැම් අය ප්‍රේම කරන්නේ තම බුද්ධියට වඩා හැගීම්වලට මුල්තැන ලබා දෙමිනුයි. එනිසා එයින් පිට ලෝකයක් ඔවුන්ට නොමැත. ඔවුන්ට ජිවිතයේ ඇති එකම සතුට බලාපොරොත්තුව ඔහු හෝ ඇය පමණයි. එසේ වුවද ඔවුනට ජිවත් වන්නට සිදුවන්නේ මේ සැබෑ ලෝකයේමය. එබැවින් සුළු ප්‍රශ්නයකදී වුව ඔවුන්ගේ මුළු ජිවිතයම තමාගේ සතුට එක දෙයක පමණක් රදවා තබා ගැනීම සුදුසු දෙයක් නොවෙයි. එයට හේතුව ආදරය වෙනස් වුව හොත් තමාට හිත හදා ගැනීමට වෙනත් ක්‍රමයක් නැති වීමයි.
තම හැගීම්වලට මුල්තැන දෙන දේ පෙම්වතා හෝ පෙම්වතිය සිතන්නේ අනෙක් පුද්ගලයාගේ බාහිර ස්වරූපය, කතාව වැනි දේ ගැනයි. හිත ගිය තැන මාලිගාව යැයි කියමනක් තිබෙනවා. යම් අයෙක් පිළිබඳව සිත අදී ගිය පසු ඔහුට හෝ ඇයට බාහිර දේවලින් වැඩක් නැත. කොයිතරම් බාධක පැමිණියත් කෙසේ හෝ තම සිතැගි ඉටුකර ගැනීමට ඔවුන් කල්පනා කරයි.
තමන්ගේ දරුවකු ප්‍රේම සබදතාවක් ඇතිකර ගැනීම මවුපියන්ට ප්‍රශ්න රැසක් අැති කරවන දෙයක්. මවුපියන් බලන්නේ තම දරුවාට ඉදිරි ජිවිත කාලයේ දී දුකක් නොවිද ජීවත් වීමට හැකිද යන්නයි. මවුපියන් ජිවිත කාලයක් වෙහෙස මහන්සි වී ගොඩනගාගත් දේ වන්නේ දරුවන්ය. දරුවන් යනු මව්පියන්ට ඈති වටිනාම වස්තුවයි. එබැවින් තමාගේ දරුවන් පවුලට නොගැළපෙන සම්බන්ධයක් අැතිකර ගැනීම මවුපියන්ට දුකක්.
නුතන සමාජයේ තරුණයකුට හෝ තරුණියකට තමා කැමති සහකාරියක හෝ සහකරුවෙකු තෝරා ගැනීමට අයිතියක් තිබිය යුතු බවට වාදයක් නැත. එයට හේතුව අවසාන වශයෙන් ඔවුන් දෙදෙනා එක්ව ජීවිතයකට මුහුණ දිය යුතු නිසාය. නමුත් ඔවුන්ට එම අයිතිවාසිකම මෙන්ම බොහෝ යුතුකමද තිබේ. තම මවුපිය හිත මිතුරන්ගේ ආශිර්වදය ඇතුව එය කරගත හැකි නම් එය සමාජයට මෙන්ම තම දරුවන්ට කෙදිනක හෝ හොඳ ආදර්ශයක් වනු ඇත.
යම් අයකු තම ප්‍රේම සම්බන්ධය වැරදි තැනකින් ආරම්භ කළේ නම් ඔහුට ආරම්භයේ සිට අවසානය දක්වාම බොහෝ භාධක කම්කටලුවලට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඔවුන්ට බාහිර ලෝකය සමඟ හුදකලා සටනක් කරන්නට සිදුවෙනවා.
ඇතැම් අය ආදරය කරන්නේ විහිලුවට හෝ විනෝදාංශයක් ලෙසයි. තවත් අය එමගින් ලිංගික ආශාවන් ඉටු කර ගනියි. එවැනි අය හැදින්විය යුත්තේ රැවිටිලිකාරයන් නැතහොත් වංචාකාරයන් ලෙසයි. මීට අමතරව සමාජයේ විවිධාකාර වූ මිනිසුන් සිටිනවා. එබැවින් කෙනෙකු තේරුම් ගැනීම ඉතාම අපහසුයි ඒ සදහා කෙනෙකුගේ සිතුම් පැතුම් විනිවිද දැකිය හැකි බුද්ධියක් තිබිය යුතුයි. තමන්ගේ බිදී ගිය හිත යළි කවදාවත් යථාර්තයට පත්කළ නොහැකි බව පවසන බොහෝ අය සිටිනවා. එබැවින් ප්‍රේමවන්තයකු වීමට පෙර එක්වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් සිතා බැලිය යුතුය.
ආදරය පිළිබඳව බොහෝ දෙනකු නොදන්නා දෙයක් තිබෙනවා. එනම් මේ ලෝකයේ සෑම පුද්ගලයකුම වැඩි වශයෙන් ආදරය කරන්නේ තමන්ට බව. එබැවින් තමාගේ සතුට තිබෙන්නේ තම සතුවමයි. එය වෙනකෙනෙකු ලඟ තැබීම බුද්ධිමත් දෙයක් නොවෙයි. සැබවින් දෙදෙනෙකු එකිනෙකාට ගැළපිය යුත්තේ කවර දී වලින්ද? ගතිගුණ, රුපය රැකියාව, සමාජ තත්ත්වය, මිල මුදල්, අදහස්, බුද්ධිය, උගත්කම ආදී විවිධ පිලිතුරු ඒ සදහා ලබා දිය හැකියි.
වඩාත් හොඳ බැඳීමක් ඇතිවීමට නම් ඉහත සදහන් කාරණා සියල්ලම හෝ වැඩි ගණනක් ගැළපීම අවශ්‍ය වෙනවා. එයට හේතුව ඉහත එක ලක්ෂණයක් නිසා ඇති වන බැදිම් එම දේ වෙනස් වන විට දුර්වල විය හැකිය. නමුත් බොහෝ ගැළපීම් ඇති විට ඉන් එකක් හෝ දෙකක් වෙනස් වුවහොත් ඒ බැදීමේ ස්ථාවරයට ලොකු වෙනසක් ඇති නොවේ. ඒ ආකාරයට ඔබගේ ආදරය ශක්තිමත් ආධාරක මත ගොඩ නැගුවහොත් එහි සතුට ජීවිත කාලය පුරාවටම එකසේ විදගත හැකිවනු ඇත.
-ශානිකා රත්නායක-
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/50041698_313321025976191_4341795818349527040_n.jpg”]