සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසියේ වෙනස්කම් 4ක්ද සමගයි. ආබාධයන්ට ලක්වූ දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, සුරංග ලක්මාල් හා රොෂේන් සිල්වා මෙම තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ වෙනුවට කුසල් ජනිත් පෙරේරා, විශ්ව ප්‍රනාන්දු, කසුන් රජිත හා චාමික කරුණාරත්න කණ්ඩායමට එක්ව සිටිනවා. චාමිකගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය මෙයයි. නවක ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ශ්‍රී පන්දු යවන්නන් හොද ආරම්භයක් ලබා ගත්තා. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුළු තුන දැවී ගියේ මුළු ලකුණු පුවරුව 28 ක් ලෙස සටහන්ව තිබියදීයි. අනතුරුව ජෝයි බර්න්ස් හා ට්‍රෙවිස් හෙඩ් ඉනිම ගොඩනැගූවා. ජෝයි බර්න්ස් සිය හතරවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා. සිය මංගල ශතකය වාර්තා කරමින් ට්‍රෙවිස් හෙඩ් ඔහුට අනගි සහයක් ලබා දුන්නා. ඔවුන් දෙදෙනාම ලකුණු 150 පසුකිරීමට සමත්වුණා.