fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රු.මි 6100ක මුදලක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 12:07

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රු.මි 6100ක මුදලක්

මහ කන්නයේ වී මිලදී ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයෙ (23) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහිදී මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රු.මි 6100ක මුදලක් වෙන් කිරීමට නියමිත බව අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.

අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විටත් ආරම්භ වී ඇති බවත් නිසි ක්‍රමවේදයකට අනුව ගොවියාගේ වී අස්වැන්න මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස එහිදී අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.

මෙහිදී එක් ගොවියෙකුගෙන් වී කිලෝග්‍රෑම් 2000ක් පමණ මිලදී ගැනීමට‍ රජය අපේක්ෂා කරයි.ගොවීන්ගෙන් මිලදී ගන්නා වී ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් විධිමත් කළ යුතු බව අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට කීය.දැනට පවතින ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේදී ඒ පිළිබඳ කටයුතු විධිමත් කළ යුතු බවද මෙහිදී සාකච්ඡා විය.

අනුරාධපුර, අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවල මේ වන විටත් අස්වැන්න නෙලමින් පවතින අතර රජය විසින් ගොවීන්ගෙන් වී කිලෝවක් සඳහා නාඩු රු. 38කට ද සම්බා රු.41කට ද වී මිලදී ගැනීමට රජය විසින් තීරණය කර ඇත.

ගොවීන්ගේ පහසුව උදෙසා ඉදිරියේදී ගොවිජන මධ්‍යස්ථාන හරහා වී වේලීම සඳහා විදුලියෙන් ක්‍රියාත්මක වී වේලන යන්ත්‍ර ස්ථාපනය කිරීමට ද තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා, වී අලෙවි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි සමන් පාලිත බණ්ඩාර මහතා ඇතුළු වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කලමනාකරුවන් ද එක්වූහ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 12:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්