තංගල්ල කුඩාවැල්ල ධිවර වරායේ වෙඩි තැබීමේ සිද්ධයේ සැකකරුවන් ගමන් ගත් යතුරුපැදිය සොයාගෙන තිබෙනවා. මෙම ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
තංගල්ල කුඩාවැල්ල ධීවර වරායට කඩා වැදී වෙඩි තබා 04 දෙනෙකු ඝාතනය කර තිබුණේ පසුගිය දෙසැම්බර් 25 වනදායි. ඉන් තවත් 06 දෙනෙකු තුවාල ලැබුවා. මේ සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක්ම පුළුල් විමර්ශන ආරම්භ කළා. ඒ අනුව එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුවයි වෙඩි තැබීම සදහා ගමන් ගත් අංක තහඩු නොමැති යතුරුපැදිය ඊයේ පස්වරුවේ සොයා ගත්තේ. බෙලිඅත්ත ප්‍රදේශයේ පොල්වත්ත කානුවක් තුළ එය සගවා තිබුණා. තංගල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් මෙම යතුරුපැදිය සොයා ගත්තා. යතුරුපැදිය සදහා යොදාගත් ආරක්ෂක හිස්වැසුම් දෙකක් පුළුස්සා තිබියදී සොයා ගැනුනා. එය අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් මගින් රජයේ රසපරීක්ෂ වෙත යොමු කිරීමට නියමිතයි. මෙම අපරාධය සදහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනුනේ අද පෙරවරුවේයි. ඒ බෙලිඅත්ත ගලගම ප්‍රදේශයේදී. ඔහු නාකුලුගමුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක්. ඔහු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ.