මෙරට නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට පිලිපීනයේ සහාය පළ වී තිබෙනවා. ලබා දිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට එරට විශේෂඥ කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිතයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පිලිපීන රාජ්‍ය සංචාරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ තවත් සුවිශේෂී ප්‍රතිලාභයක් ලෙසයි මෙය සැලකෙන්නේ. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබා දීමට පිලිපීනය තීරණය කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ පිලිපීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය අද(19)යි. පිලිපීන පොලිස් මූලස්ථානය වෙත අද (19) පෙරවරුවේ ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කටයුතු නිරීක්ෂණය කළා. පිලිපීන ජාතික පොලිස් සේවාවේ ප්‍රධානී ඔස්කා ඩි අල්බයාල්ඩි හා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති කැටලිනෝ එස් කුයි යන මහත්වරුන් ජනාධිපතිතුමා පිළිගනු ලැබුවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව පිලිපීන රජය සංවිධාන කර තිබූ ප්‍රදර්ශනයක් නැරඹීමට ද ජනාධිපතිතුමා එක්වුණා.
අනතුරුව පැවති හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව විවෘත සටනක් මේ වන විට තම නායකත්වයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවයි. භූගෝලීය පිහිටීම අනුව නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ශ්‍රී ලංකාව සුවිශේෂී හුවමාරු මධ්‍යස්ථානයක් වී ඇති බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. නීති විරෝධී මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට රැගෙන ඒම වැළැක්වීම සඳහා සියලු මිත්‍ර රටවල සහාය අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා තවදුරටත් සඳහන් කළා. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා ගෙන යන ප්‍රබල සටන ජනාධිපතිතුමා ඇගයීමට ලක් කළා. තම පිලිපීන සංචාරය සිදු වූයේ ද එතුමාගේ එම සේවාවට සිදු කරන ගෞරවයක් ලෙසින් බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියාසිටියේ. මත්ද්‍රව්‍ය ජාවාරම ලොව බොහෝ රටවලට ප්‍රබල අභියෝගයක් වුව ද ඒ සදහා නිසි පියවර නොගන්නේ ඇතැම් දේශපාලනඥයින් ඊට සම්බන්ධ වීම නිසා බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ පවතින විශාල ගැටලුවක් බව ද සඳහන් කළා. ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව ගෙන යන වැඩපිළිවෙළ ද විස්තර කළ ජනාධිපතිතුමා වැටලීම්වලදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හා පොලිස් නිලධාරීන්ගේ ජීවිත පවා අහිමි වූ බව ද සිහිපත් කළා. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන තමා ආරම්භ කළේ මීට වසර 45 කට පෙර රාජ්‍ය සේවකයෙකුව සිටියදීයි. මහජන නියෝජිතයෙකු ලෙස ද ඒ සඳහා ක්‍රියාත්මක කළ පුළුල් වැඩපිළිවෙළ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා ජාත්‍යන්තර සම්මානයක් තමන්ට පිරිනමා එම සේවාව ඇගයීමට ලක් කළ බව ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළා. ජනාධිපති ලෙස අද දවසේ ද ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීමට ප්‍රබල සටනක තමා නිරතව සිටින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙම වසරේදී වැදගත් තීන්දු, තීරණ රැසකට එළඹෙන බව ද සඳහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/TJa2LUyJj5E”]