fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය හා ශ්‍රී ලංකාව අතර පස් අවුරුදු සැලැස්මකට අත්සන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 17:28

ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය හා ශ්‍රී ලංකාව අතර පස් අවුරුදු සැලැස්මකට අත්සන්

පිලිපීනයේ පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය හා ශ්‍රී ලංකාව අතර පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මකට අත්සන් තැබුණා. කෘෂිකර්මාන්තය කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කැපවීම අගයමින් ජාත්‍යන්තර සහල් පර්යේෂනායතනයේ බිම් පරිශ්‍රයක් ජනාධිපතිතුමා නමින් නම් කිරීම ද අද(18) සිදු කෙරුණා.

පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එරට පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ එහි අධ්‍යයන කටයුතුවල නිරත ශ්‍රී ලාංකික සිසුවියන් දෙදෙනෙකු විසින්. ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය ලොව විශාලතම සහල් ජාන බැංකුවයි. ලොව විවිධ රටවලට අයත් සහල් වර්ග ඉදිරි අනාගතය වෙනුවෙන් මෙහි සංරක්ෂණය කර තිබෙනවා. මෙම පර්යේෂණායතනය පාරිසරික විපර්යාසවලට මෙන්ම පළිබෝධවලට ඔරොත්තු දිය හැකි වී ප්‍රභේද නිකුත් කිරීම සදහා සෑම රටකටම ජාන නිකුත් කරනවා. ඒ සම්බන්ධ කාර්යයන් මෙන්ම භෝග කළමනාකරණය පිළිබද හැදින්වීමක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණා. එහි තැන්පත් කර ඇති ශ්‍රී ලංකාවට ආවේණික බීජ වර්ගද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ බීජ රෝපණය කෙරෙන ආකාරයද ජනාධිපතිතුමා ඉදිරියේ ප්‍රදර්ශනය කෙරුණා.

ජනාධිපතිතුමාගේ පිලිපීන රාජ්‍ය  සංචාරයේ තවත් සුවිශේෂී කාර්යයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ්‍රී ලංකාව අතර පස් අවුරුදු ක්‍රියාකාරී සැලසුමකට මෙහිදී අත්සන් තැබුණා. ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කිරීම සදහා වන ජාතික සැලැස්ම ක්‍රියාවට නැංවීමට අදාළවයි එම ගිවිසුම අත්සන් කළේ. අදාළ ඉලක්ක සපුරා ගැනීම සහ දේශගුණික විපර්යාස සදහා වන බලපෑම් අවම කර ගැනීම එහි අරමුණයි. ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය මැතිව් මොරෙල් මහතා ඉදිරියේ දෙරටේ නියෝජිතයන් ඊට අත්සන් තැබුනා. මෙහිදී තවත් සුවිශේෂී කාර්යයක් සිදු වුණා. ඒ ජාත්‍යන්තර සහල් පර්යේෂණායතන භූමියේ එක් පරිශ්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නමින් නම් කිරීමයි. කෘෂිකර්මාන්තය වෙනුවෙන් එතුමාගේ කැපවීම අගය කරනු වස් එම පරිශ්‍රය නම් කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කෙරුණේද ජනාධිපතිතුමා අතින්. අනතුරුව එම ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය මැතිව් මොරෙල් මහතා සමග ජනාධිපතිතුමා සාකච්ඡාවක්ද පැවැත්වූවා.  කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ කැපවීම අගය කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සෑම රාජ්‍ය නායකයෙකුම මෙවැනි පැහැදිලි දර්ශනයකින් හා උනන්දුවකින් ක්‍රියා කරන්නේ නම් කෘෂිකර්මාන්තයේ නව විප්ලවයක් ලොව පුරා සිදුවනු ඇති බව ඒ මහතා සදහන් කළා.

”ඔබතුමා නැවත පිළිගැනීමට ලැබීම මහත් සතුටක්. 1996 න් පසු ඔබතුමා මෙහි සංචාරය කරන හතරවන අවස්ථාව මෙයයි. කෘෂිකාර්මික පසුබිමක් ඇති රාජ්‍ය නායකයෙකු මෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රය උදෙසා රාජ්‍ය නායකයෙකු ලෙස ඔබතුමාගේ කැපවීම සිත් ගන්නා සුළුයි. කෘෂි ක්ෂේත්‍රය සදහා උනන්දුවක් දක්වන ලෝක ප්‍රජාව ඔබතුමා සමග සිටිනවා.”

මෙහිදී ජනාධිපතිතුමා කියා සිටියේ දේශගුණික විපර්යාසවලට මුහුණ දෙමින් ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කිරීම තම අරමුණ බවයි. නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙස මීට පෙර තුන් වතාවක්ම ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ නිරීක්ෂණ චාරිකාවන්හි නිරත වූ තමන්ට අද ජනාධිපතිවරයා ලෙස පැමිණීමට ලැබීම සතුටට කරුණක් බව ද ජනාධිපතිතුමා කියා සිටියා. මෙම සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණා. මේ අතර පිලිපීන ජනාධිපතිතුමාගේ විශේෂ ආරාධනය පරිදී එරටට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවුණේ ඊයේ දිනයේදියි. ඒ මැනිලා නුවරදී. උසස් අධ්‍යාපනය ලබන සිසුන්, වෘත්තීයවේදීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පිරිස් ඊට එක්ව සිටියා. ඔවුන් සිය ගැටලු ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළා. පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් ඉදිරි පියවර රැසක් ගන්නා බව ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 17:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්