fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකාව සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීමට කැපවන බව පිලිපීන ජනපති කියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2019 08:53

ශ්‍රී‍්‍ර ලංකාව සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීමට කැපවන බව පිලිපීන ජනපති කියයි

ශ්‍රී ලංකාව සමඟ ඉදිරියේ දී පුළුල් සබඳතාවයක් ඇති කර ගැනීමට පිලිපීනය සූදානම් බව පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටර්ට් මැතිතුමා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පිලිපීන රාජ්‍ය සංචාරය දෙරට අතර සබඳතාවල ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කළ බව සඳහන් කළ පිලිපීන ජනාධිපතිවරයා එම විශ්වාසනීය මිත්‍රත්වය සමඟ දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීමට කැපවන බව ද අවධාරණය කළේය.

පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටර්ට් මැතිතුමා අතර නිල හමුව ඊයේ (16) පස්වරුවේ පැවැත්වුණු අතර ඉන් අනතුරුව එරට මාධ්‍ය අමතමින් පිලිපීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

සංවර්ධනය වන ජාතීන් ලෙස දෙරටටම ඇත්තේ පොදු අභිලාෂයන් බව මෙහි දී පැවසූ ජනාධිපති ඩියුටර්ට් මැතිතුමා දෙරටට පොදු වූ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම වැනි අභියෝගවල දී මෙන්ම ජාත්‍යන්තර තලයේ දී ද ශ්‍රී ලංකාව සමග සමීප සබඳතාවයක් ගොඩනඟා ගැනීමට පිලිපීනය සූදානම් බව සඳහන් කළේය.

තමන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර පැවති නිල හමුවේ දී සිදු කෙරුණු සාකච්ඡා දෙරටේම යහපත වෙනුවෙන් සිදු කෙරුණු විශිෂ්ට මැදිහත්වීමක් බව සඳහන් කළ ඩියුටර්ට් මැතිතුමා එහිදී අත්සන් තැබුණු නව අවබෝධතා ගිවිසුම් මගින් දෙරටටම ඉදිරියේ දී ප්‍රතිලාභ රැසක් උදාවනු ඇති බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියා සිටියේ ශ්‍රී ලංකා පිලිපීන සබඳතා ශක්තිමත් කර, නව මාවතකට ගෙන ඒම තම අපේක්ෂාව බවයි.

තමා සංචාරය සමඟ ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර දිගු කාලීන විශ්වාසනීය මිත්‍රත්වයක් ගොඩනැගුණු බව සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙරට අතර ගොඩනැගුණු නව මිත්‍රත්වය ඔස්සේ දෙරටේම ජනතාවගේ සෞභාග්‍ය සහ ප්‍රගතිය වෙනුවෙන් එක් ව ගමනක් යාමට හැකිවනු ඇති බව ද කියා සිටියේය.

නුදුරු දිනකදී ම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස පිලිපීන ජනාධිපතිවරයා වෙත මෙහිදී ආරාධනා කළ ජනාධිපතිතුමා මෙම සංචාරයේ දී සිදු කෙරුණු සාකච්ඡාවන්ගේ ප්‍රගතිය ඇගැයීමට එය අනඟි අවස්ථාවක් වනු ඇති බව ද සඳහන් කළේය.

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2019 08:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්