පනාමුරේ ඇත් රාජා ගැන බොහෝ දෙනා අසා තිබුණත් ඉන් වැඩිදෙනෙකු එහි ඉතිහාස කතාව නොදන්නවා විය හැකියි. පනාමුරේ ඇත් රාජා මෙන්ම පනාමුරේ ඇත් ගාල ද ඓතිහාසිකයි.
ඇඹිලිපිටිය නගරයේ සිට කොළොන්න මාර්ගයේ කිලෝමීටර් 12ක් දුරින් පිහිටි ‘පනාමුර’ නගරයෙන් කිලෝමීටර් 2ක් නුදුරුවයි ‘පනාමුරේ ඇත්ගාල’ පිහිටා තිබෙන්නේ.1951 වර්ෂයේදී ‘වලවේ ගඟ’ මිටියාවතේ වනාන්තරවල සිටින වන අලි ඇතුන් අල්ලා බැඳ ගැනීමට පනාමුරේ ඇත්ගාල ආරම්භ කළ බවයි සඳහන් වෙන්නේ. මඩුවන්වල දිසාවේට අයත්ව තිබූ පනාමුරේ ඇත්ගාල මේ වන විට වල්බිහි වී තිබෙනවා. අල්ලා ගත් වන අලින් ඇත් ගාලේ කොටුකර හීලෑ කර අලෙවි කළ බව සදහන් වනවා. මෙම ඇත් ගාලට කොටු වී සිටි ඇතුන් බේරා ගැනීමට එක් ඇතෙකු ගත් වෙහෙස මහන්සියත් අවසානයේ එම සත්වයාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ ශෝචනීය පුවතත් පනාමුරේ ඇත් රජාගේ කතාවයි. ඇත් රජා මෙල්ල නොවීම නිසා නාවික හමුදා නිලධාරියෙකු ලවා වෙඩි තබා ඝාතනය කළ බව සදහන් වනවා. පනාමුරේ ඇත් ගාල ප්‍රසිද්ධ නිසා එය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන නමුත් මේ වන විට එය වල්බිහි වී තිබෙනවා. ඇත්ගාලට ආසන්නයේ ඉදිකර ඇති කෞතුකාගාරයද වසා දමා තිබෙනවා. ඇත්ගාල ආසන්නයේ පිහිටා ඇති දිය බුබුල හාස්කම් ගෙන දෙන ස්ථානයක් බවට එකල ප්‍රදේශවාසීන් අතර විශ්වාසයක් පැවතුනා.
එවකට මෙරට සිටි තානාපතිවරු, ව්‍යාපාරිකයන්, සංගීතවේදීන් ඇතුළු ප්‍රභූන් පිරිසක්මෙම ඇත් ගාල දැක බලා ගැනීමට එක්වුණා.
ඇත්ගාලට කොටුවී සිටි අලි ඇතුන් අතර එක් ඇතෙක් ඇත්ගාල බිඳ දමන්නට දැඩි වෙහෙසක් දැරුවා. ඒ වන විට කොටු වී සිටි අලි ඇතුන් නැවත පිටවීමට උත්සාහ දැරීම නිසා කෝපයෙන් ඇත්ගාල බිඳ දමමින් සිටි ඇතා වෙඩි තබා මරා දැමීමට කටයුතු කළ බවටයි ඉතිහාස කතා පුවත්වල සඳහන් වන්නේ. වෙඩි පහරට ලක්ව බිම ඇද වැටුණු හස්තියාගේ හිසෙන් රතු ලේ ධාරාවක් ගලාගෙන යද්දී නරඹන්නන් බොහෝ දෙනෙක් වැලපෙන්නට වූ බවත් සඳහන්.
සංගීතවේදී තුසිත මලලසේකර මහතා විසින් ලියා ගායනය කළ පනාමුරේ ඇත් රාජා ගීතය නිසා පසු කලෙක පනාමුරේ ඇත්රාජා සහ ඇත්ගාල මෙරට ඉතිහාසයේ අමරණීය සිහිවටනයක් බවට පත්ව තිබෙන බවත් සඳහන් කළ යුතුයි.
දේශීය හා විදේශීය සංචාරකයෝ පනාමුරේ ඇත්ගාල දැක බලා ගැනීමට අදත් පැමිණෙමින් සිටිනවා.ඓතිහාසික පනාමුරේ ඇත්ගාල කාලයක් තිස්සේ විනාශවී යෑමේ තර්ජනයකට ලක්වෙමින් පවතිනවා. එමෙන්ම ඇත්ගාලට අයත් භූමිය ඇතැම් පිරිස් විසින් අල්ලාගෙන සිටීමෙන් දැනට ඉතා කුඩා බිම් කොටසක් පමණක් ඉතිරිව පවතින බවත් නොරහසක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මෙම කොටස සංරක්ෂිත ලෙස නම් කර ඇතත් මේ ස්ථානය රැක ගැනීමට මෙතෙක් සාර්ථක පියවර ගෙන තිබෙනවාද යන්න ගැටලුවක්.කෙසේ නමුත් ඓතිහාසික පනාමුරේ ඇත්ගාල මතුපරපුරට දැක ගැනීම සඳහා රැකගත යුතුව තිබෙන බව නම් අවිවාදයෙන්ම පිළිගත යුතුයි…
https://www.facebook.com/itnnews.lk/videos/2224388594495803/