fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝනොවන රෝග සෙවීමට ජංගම දුරකථන සමීක්ෂණයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 17:11

බෝනොවන රෝග සෙවීමට ජංගම දුරකථන සමීක්ෂණයක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බෝ නොවන රෝග පිළිබද ව වර්තමාන තත්ත්වය සොයා බැලීම සදහා ජංගම දුරකථනය භාවිත කරමින් දීප ව්‍යාප්ත සමීක්ෂණයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය කටයුතු කිරීමට නියමිතයි.

මෙම මස අවසාන සතියේ පමණ එම සමීක්ෂණය ආරම්භ කිරීමට නියමිත බව බෝ නොවන රෝග ඒකකයයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා පැවසීය. මෙරට පුරවැසියන් සදහා ජංගම දුරකථන ඇමතුමක් මගින් කෙටි ප්‍රශ්න 20 ක් ලබා දී ඔවුන්ගෙන් ලැබෙන පිළිතුරු පදනම් කර ගනිමින් එම දත්ත විශ්ලේෂණය කර බෝ නොවන රෝග පිළිබදව පූර්ණ දත්ත එකතුවක් සකස් කර ගත හැකිවන බව විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා තව දුරටත් කීය.

පුද්ගලයන් ලබා දෙන තොරතුරුවල පූර්ණ සුරක්ෂිතබව හා රහසිගත බව සුරකිමින් මෙම ප්‍රශ්නාවලිය සිදු කරන බවත්, දුම්පානය, මත්පැන් භාවිතය, දුම්කොළ භාවිතය, එළවළු හා පලතුරු ගැනීම, දියවැඩියා තත්ත්ව ආදී තොරතුරු, ඖෂධ භාවිතය පිළිබදව ප්‍රශ්න යොමු කරන අතර ඊට පිළිතුරු ලබා දීමේ කැමැත්ත මත මෙම සමීක්ෂණය සිදු කිරීමට බෝ නොවන රෝග කාර්යංශය අපේක්ෂා කරයි.

සාමාන්‍යයෙන් සිදුවන මරණ පහකින් හතරකටම හේතුව වන්නේ හෘදයාබාධ, අධි රුධිර පීඩනය, ආඝාතය, දියවැඩියාව, වකුගඩු රෝග ආදී බෝ නොවන රෝග තත්ත්වයි. වයස අවුරුදු 30-69 ත් අතර වයසේ සිටින අයගෙන් 80%ක්ම මිය යන්නේ බෝ නොවන රෝග නිසයි. රටට විශාල හානිදායී තත්ත්වයක් ලෙස සලකන අකල් මරණ සිදු වීම අවම කරමින් නිරෝගිමත් හෙට දවසක් උදා කිරීම සදහා මෙවැනි ක්‍රියාදාම නිසා හැකියාව ලැබෙන බවත් විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා තව දුරටත් අදහස් දක්වමින් පැවසීය.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 17:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්