ප්‍රකාශයට පත්කර ඇති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය වෙනුවෙන් පාසල් ළමුන් සූදානම් කිරීමේ සතිය අදින් ආරම්භ වනවා. මෙම මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය නම්කර ඇත්තේ මතට එරෙහිව පාසලෙන් ජවයක් ලෙසයි.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ තේමා පාඨය වී ඇත්තේ ” දරුවන්ට සවන් දෙමු.බලගන්වමු.රැකගනිමු “ ලෙසයි. ඒ අනුව මෙම ජාතික සතිය එළඹෙන 21 වැනිදා සිට 28 වැනිදා දක්වා දිවයින පුරා සියලු පාසල්වල ක්‍රියාවට නැංවෙනවා. එය ආරම්භ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් මහා විද්‍යාලයේදීයි. විශේෂ මාතෘකා 5 ක් තේමා කරගනිමින් එම සතියේ දින පහ තුළ මෙම වැඩසටහන් ක්‍රියාත්මකයි. අදාල කාලය තුළ සෑම දිනකම උදේ 8.00 සිට 9.30 දක්වා කාලය තුළ එම වැඩසටහන් ක්‍රියාවට නැංවෙනු ඇති. අද සිට මේ මස 18 වැනිදා දක්වා කාලය පාසල්වලට උපදෙස් ලබාදී ඇත්තේ ළමුන් ඊට සූදානම් කිරීමටයි. අද සිට පාසල් මට්ටමින් මද්‍යසාර, දුම්කොළ ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ ඇත්ත සහ බොරුව හෙළිදරව් කරනු ඇති. නිවසේ පවත්වන සාදයන් මද්‍යසාර භාවිතයෙන් නිදහස් කරගැනීම සදහා දරුවන් දැනුවත් කෙරෙනවා. මත්ද්‍රව්‍ය, දුම්කොළ ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය ප්‍රචාරය සහ මාධ්‍ය හැසිරීම පිළිබදව දරුවන් දැනුවත් කිරීමට ද නියමිතයි. මත්ද්‍රව්‍ය, දුම්කොළ ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය පිළිබද නීති ක්‍රියාත්මකවීම පිළිබදවද දරුවන්ට එලඹෙන සතිය තුළ දැනුම ලබාදෙනු ඇති. මත්ද්‍රව්‍ය, දුම්කොළ ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය ව්‍යාපාර සදහා දේශපාලනඥයින්ගේ මැදිහත් වීම පිළිබදවද දරුවන් දැනුවත් කිරීමට නියමිතයි. මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ඇරඹෙන ජනවාරි මස 21 වැනිදා මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පන්ති කාමරය තුළ දරුවන් දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් රැසක් සැලසුම් කර තිබෙනවා. ජනවාරි 22 යොදාගෙන ඇත්තේ දෙමාපියන් පාසල වෙත කැදවා පන්ති මට්ටමින් දරුවන් සමග සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් වෙනුවෙන්. ජනවාරි මස 23 වැනිදා මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු පිළිබදව දැනුවත් කිරීම සිදු වනවා. ජනවාරි මස 24 වැනි දින මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමට නියමිතයි. ජනවාරි මස 25 වැනිදා විවිධ මාධ්‍ය භාවිත කරමින් පාසල තුළ හා පිටත මත්ද්‍රව්‍ය නිවාරණ පණිවුඩ ප්‍රචලිත කිරීම හා ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමට යොදාගැනෙනවා. ජනවාරි 26 යොදාගෙන ඇත්තේ ස්වේච්ඡා සංවිධානවල මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් ඇතුළත් වැඩසටහන් වෙනුවෙන්. ජනවාරි මස 27 වැනිදා ආගමික ස්ථාන හා දහම්පාසල් හරහා මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු දියත් කිරීමට නියමිතයි. ජනවාරි 28 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකළ නිළධාරීන්ට සම්මාන පිරිනැමීමේ උත්සවය පැවැත්වෙන්නේ කොළඹදීයි.