සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් ඊයේ දිනයේ මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වමින් සංදේශ භාරදීම පිළිබදව එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව එම පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම විරෝධතාව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙයවන එන්ජීඕ නඩයක් විසින් කළ බවට යම් යම් මාධ්‍ය ගෙන යන ප්‍රචාර සම්බන්ධව විශේෂ අවධානය යොමුව ඇති බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.
ඊයේ දිනයේ පැවති එම විරෝධතාවලට ඔක්තෝබර් 26 වනදා සිට ප්රජාතන්ත්රවාදය හා ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් වදින සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවකගේ සහාය ලැබී තිබුණු බවයි එහි දැක්වෙන්නේ. එක්සත් ජාතික පක්ෂය සැමවිටම මාධ්‍ය නිදහස ගරු කරන ආරක්ෂා කරන පක්ෂයකි.
මෙරට මාධ්‍ය ආයතනයන් වෙත බෝම්බ ප්‍රහාර ප්රචණ්ඩත්වය එල්ල වූ අවස්ථාවන්හිදීත් මාධ්‍යවේදීන් ඝාතනයට හා තර්ජනයට ලක් වූ අවස්ථාවන්හිදීත් මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය පෙනී සිටි බව එම නිවේදනයෙන් සිහිපත් කරනවා. රටේ පවත්නා නීතියට අනුකූලව සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය ඕනෑම පුරවැසියෙකු සතුය. එහෙත් එවැනි විරෝධතාවකට සිය මාධ්‍ය බලය උපයෝගී කරගනිමින් පහර එල්ල කරන්නට හා පළවා හරින්නට ක්‍රියා කරන මාධ්‍ය ආයතන මගින් ප්‍රදර්ශනය වන්නේ කළු මාධ්‍ය මාෆියාවේ සැබෑ ස්වරූපය බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.
ශීලාචාර ලෙස පවත්වන විරෝධතාවන්වලට එන්ජීඕ කාරයන් හා ජාත්‍යන්තර කුමන්ත්රණකරුවන් ලෙස හංවඩු ගසන මෙම මාධ්‍ය රට ගිනි තියමින්, නීති බිදිමින්, ප්රචණ්ඩත්වය වපුරමින් විරෝධතා කරන්නන් දේශප්‍රේමීන් ලෙස ඔටුනු පළදවන බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.
මහත්මා ගතිගුණ ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන්ගේ සංදේශ භාර ගැනීමට ක්‍රියා කළ මාධ්‍ය ආයතන වෙත එක්සත් ජාතික පක්ෂයේ ප්‍රසාදය හිමිවන බවත් එසේ නොකොට තම ඒකාධිපතිත්වය ප්‍රදර්ශනය කළ කළු මාධ්‍ය වෙත සිය පක්ෂයේ විරෝධය හා පිළිකුල ප්‍රකාශ කරන බවත් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනයේ සදහන්.