සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි විස්ස තරගයෙන් ලකුණු 35ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.
නවසීලන්ත කණ්ඩායම සමග ඕක්ලන්ඩ් හි පැවති තරයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ශ්රී ලංකා කණ්ඩායම තීරණය කළා. දෙරට අතර පැවති අවසන් එක්දින තරගයට ක්රීඩා කළ ක්රීඩකයින් තුන් දෙනෙකුට කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබුණා. ඒ දුෂ්මන්ත චමීර, නුවන් ප්රදීප් හා ආබාධයකට ලක්වූ ධනුෂ්ක ගුණතිලකටයි. සධීර සමරවික්රම, කසුන් රජිත හා ලහිරු කුමාර කණ්ඩායමට එක්ව සිටියා.
පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 179 ක් ලබා ගැනීමට සමත්වුණා. ඩි බ්රෙස්වෙල් ලකුණු 44 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී කසුන් රජිත කඩුලු 3 ක් හා ලසිත් මාලිංග කඩුලු 2 ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට හැකිවූයේ නැහැ. පිතිකරුවන් 7 දෙනෙකු ලකුණු දහයේ සීමාව පසු කිරීමට සමත්වුණේ නැහැ. තිසර පෙරේරා ලකුණු 43 ක් ලබා ගත්තා. මේ අනුව පන්දුවාර දහසයයි පන්දු පහක් අවසානයේ සියලු දෙනා දැවී ශ්රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වුණේ ලකුණු 144 ක් පමණයි.