fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ ආපදාවට ලක්වූවන් ණය ආපසු ගෙවීම් වලින් නිදහස්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 08:55

උතුරේ ආපදාවට ලක්වූවන් ණය ආපසු ගෙවීම් වලින් නිදහස්

උතුරේ ගංවතුර තත්වය මේ වනවිට පහව යමින් පවතිනවා. යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ති‍්‍රක්කවල දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ල වුණා. වැඩිම බලපෑම එල්ල වුණේ කිලිනොච්චි දිස්ති‍්‍රක්කයටයි.

අවතැන්වූවන් වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව කි‍්‍රයාත්මක බවයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ. හානියට පත් වගා බිම් වෙනුවෙන් අක්කරයකට රුපියල් හතළිස් දහස බැගින් වන්දි ලබාදීමට තීරණය කර තිබෙනවා. නිවාස අලුත්වැඩියාව වෙනුවෙන් මූලික අදියරයේදී පිරිනැමෙන මුදල රුපියල් දස දහසක්. තක්සේරුවෙන් පසු ඉතිරි මුදල් ලබාදීමටයි පියවර ගෙන තිබෙන්නේ.

මේ අතර ආපදාවට ලක්වූවන්ගෙන් ණය අය කරගැනීම නතර කරන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. බැංකු සමඟ සාකච්ඡා කර ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමටයි අපේක්ෂිත.

උතුරේ ජනතාව වෙනුවෙන් සහන රැගත් විශේෂ දුම්රියක් අනිද්දා කොළඹ කොටුවෙන් පිටත්වනවා. එය කිලිනොච්චිය දක්වා ගමන් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ජනතාවට බෙදාහැරිම සඳහා මෙම දුම්රියට භාණ්ඩ ලබාදීමට මහජනතාවට අවස්ථාව පවතිනවා. රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, කුරුණෑගල, ගනේවත්ත, මහව, ගල්ගමුව සහ අනුරාධපුර දුම්රිය ස්ථානවලදී එම ආධාර ද්‍රව්‍ය ලබාදිය හැකියි.

මේ අතර පීඩාවට පත් ජනතාවට ආධාර රැස් කිරීමේ වැඩපිළිවෙලක් ITN මාධ්‍ය ජාලයේ මාධ්‍ය අනුග‍්‍රහයෙන් ආරම්භ කර තිබෙනවා. ඒ කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධවයි. මෙම සමාජ සත්කාරය සඳහා ඕනෑම පාර්ශවයකට දායකවීමට අවස්ථාව හිමිවෙනවා. වියළි සලාක, පාසල් උපකරණ සහ ආහාර පිසීමට අවශ්‍ය ද්‍රව්‍යවල වැඩි අවශ්‍යතාවක් පවතින බවයි අමාත්‍යාංශ අතිරේක ලේකම් එස් ඩී උඩවත්ත මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 08:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්